අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි

අනාගත බලාපොරොත්තු... මේ වචන දෙක කියවූ පමණින් වැඩිහිටියන්ට පමණයි කතා කියවීමට ආ සැමටද, පොඩි කාලේ පටන් දොස්තර නලාව කරේ තබා ගෙන සිට උසස් පෙළට ගණිත/වාණිජ/කළා විෂයන් හැදෑරූ සැමටද,  එකී මෙකී නොකී ආකාර වල ආත භූත බලාපොරොත්තු පසු පස හඹා ගොස් දැන් ඒවා මතක් වන විටද සිනා යන අයටද මේ දැන් කට කොනින් හිනවක් මතු වනු පෙනේ. මේ මාතෘකාව පිටුපස අරුතක් ඇත. එය කතාව අවසානයේදී  හමු වනු ඇත. 

මෙතැන් පටන් කතා කරන්නේ කුඩා අශන්ෂණී ය.

දොස්තරලා , ඉංජිනේරුවන්,ගුරුවරුන්, කම්කරුවන් , වෙලෙන්දන් දුටිමි. ඔවුන්ටත් මට වගේ ළමා කාලයක් තිබුනේද? හෙන ප්‍රශ්ණයකි. 

'අම්මෙ අම්මෙ අරගොල්ලොත් මන් වගේ පොඩියට ඉන්න ඇතිද ? '

'ඔව් පුතේ හැමෝම ඔයා වගේ පොඩියට ඉදල තමයි ලොකු වෙන්නෙ. හොදට ඉගෙන ගත්තොත් හොද රස්සාවක් කරන්න පුලුවන්.'

'අම්ම්ම්.. මොනවද හොද රස්සා කියන්නෙ? හැම රස්සාවක්ම වටින්නෙ නැද්ද? '

පණ්ඩිත ප්‍රශ්ණ වලට උත්තර දුන්නද තේරුම් ගැනීමට තරම් වත් වයසක් නැත. අවුරුදු 3.5ක් හෝ 4ක් වයස ඇති අති පණ්ඩිත පුංචි මාධ්‍යවේදිණිය නිහඩ කිරීමට සිතා අම්මා සිනා සී හිස අත ගෑවාය. 

තවමත් ප්‍රශ්ණය විසදී නැත.

මන් ලොකු උනාම මොකෙක්ද වෙන්නෙ? ප්‍රශ්ණයට උත්තරේ පෙරපාසල් යන අතරතුර ලැබුණි. 
අනෙකුත් වාහන සියල්ලටම වඩා වෙනස් වූ මරු වාහනයක් පාරේ ඇත. 

'ශා අම්මෙ අපි තාත්තට අරකක් ගන්න කියමුකො.'

'ඒ කුණු ලොරිය පුතේ. තාත්තට ඒකක් ගන්න බෑ. ඒව පළාතකටම එකයි තියෙන්නෙ. ඒකක් ගන්න නම් ඔයාට ඒකෙ driver (රියදුරා) වෙන්න වෙයි.' අම්මා සිනා මුවින් කීවාය. 

හරි ඔය තියෙන්නෙ මරු රස්සාව. මන් කුණු ලොරියෙ driver වෙනව. 

පෙරපාසල අවසන් වූ විගස ගෙදර දිව ගියේ මගේ අනාගත බලාපොරොත්තුව අයියට කීමටයි. 

'අයියෙ මන් ලොකු උනාම කුණු ලොරියෙ driver වෙනව.'

'නියමයිනේ .. මාත් ඕක කරන්න තමා හිටියෙ. ඒත් මන් කුණු විභාගෙ ෆේල් හලෝ.'

අප්පටසිරි රස්සාව නිකන්ම හම්බෙන පාටක් නැත. අයියා කියන අන්දමට කුණු විභාගයක්ද ඇත. කෙසේ හෝ විභාගය සමත් වී ලොරියක් ගැනීමට සිතා ගතිමි.

ඒ අනාගත බලාපොරොත්තුව සමග වසර දෙක තුනක්ම ගත විය. ආසාව ඉශ්ඨ වීමට තරම් මන් ලොකු වූ පාටක් නැත. කුණු විභාගය ගැනද ආරංචියක් නැත. 

'තාත්තෙ මට ලොකු වෙන්න ඕනෙ.'

'මේ මොකෝ හදිස්සියෙ? '

'මට කුණු ලොරියක් ගන්න අනේ. මන් උස යන්නෙත් නෑනෙ කුණු විභාගෙ ලියන්න. '



තාත්තට හිනාව නතර කර ගත නොහැක. 'කව්ද පුතේ කුණු විභාගෙ ගැන කිව්වෙ? '

'අයිය තමයි. එයා ෆේල් ලු. බය වෙන්න එපා තාත්තෙ මන් ඕක පාස් වෙලා ලොරියක් අරන් තමා පස්ස බලන්නෙ.'

කාලය ඔහොම ම ගෙවුනි. මතක හැටියට පාසලේ එක වසරේ හෝ දෙක වසරේය. 

'පුතාල ලොකු වුනාම කවුරු වෙන්නද කැමති?' ටීච ඇසුවාය.

අහෝ කේදවාචකයකි. දොස්තරලා,ඉන්ජිනේරුවන් අතර එකම driver මම ය. 

අම්මා කියූ හොද රස්සා සංකල්පය තේරුනේ දැන්ය. ඒත් ඒ සංකල්පය පිලිගැනීමට පුංචි මනස තවමත් සූදානම් නැත. 
'එහෙම වෙන්නෙ කොහොමද? ඒ වාහනේ කා ළඟවත් නෑ. ඒක හැමෝටම ගන්නත් බෑ.' මැලවුනු මුහුණින් ගෙදර ගියෙමි. 

'අම්මෙ මන් ලොකු උනාම කව්ද වෙන්න ඕනෙ?'

'ඒක පුතා ලොකු උනාම හිතන්න.. ' සරල පිළිතුරකි.

'එහෙම බෑ අම්මෙ ළමයි ගොඩක් දොස්තරල වෙනව. මට වෙන්නෙ මෝඩ ළමයෙක් වෙන්න. '

'කෝ එන්නකො ලගට.' අම්මා මාව උකුලේ ඉන්දවා ගත්තාය. 

මා විසින් නිර්මාණය කල මැටි අලියා දෙසට අත දිගු කලාය.

'අරක කව්ද හැදුවෙ පුතේ?'

'මම.. ' හුලං බැස්ස රෝදයක් මෙන් මූණ හදාගෙන පිළිතුරු දුනිමි. 

'පුතා ආස නැද්ද ලොකු වෙලත් ඕව හදන්න? අනිත් අය ලස්සනයි කියද්දි මහෙ චූටි දුවට සතුටුයි නෙ. '

'මන් ඩොක්ටර් උනේ නැත්තම් අම්මට මන් ගැන ලැජ්ජ නැද්ද ?' චූටි දුවගෙන් තවත් ප්‍රශ්ණයකි.

'අම්ම ආස චිත්‍ර අදින්න. පුතා ආස පිළිම හදන්න. අම්ම බල කලොත් පුතාට චිත්‍ර අදින්න කියල පුතා ආසද?' 

'අපෝ නෑ..' පිළිතුර සරලය.

'පුතා ආස කෙනෙක් වෙන්න. අම්මට තාත්තට ඕන කෙනෙක් නෙමේ. හරි දේ , වැරදි දේ දකින්න මගෙ පුතාට මොලේ තියෙනව. ඔයා ගොඩක්ම දක්ශ මොනාටද, ආස කොනාටද කියල අපි මුලින් හොයා ගමු.'

ප්‍රශ්ණය විසදුනි. එතැන් පටන් වරෙක මූර්ති ශිල්පියෙක්ද, වරෙක බස් කොන්දොස්තර වරයෙක් ද, වරෙක පෙරපාසල් ගුරුවරියක්ද වූ මා වසර දහයක්ම කන්‍යා සොයුරියක් විමටද සිහින දුටිමි. හීන කෝටියක් මැවූ මා අවසානයේ නතර වූයේ business analyst කෙනෙක් වෙලාය. ඒ රැකියාවේ ස්වභාවය තියා එහි නමවත් මා A/L සමයේවත් නොදැන සිටි බව ඉර හද මෙන් විශ්වාසය. විශේෂම කරුණ නම් මම ඒ රැකියාවට කොටු වී නැත. මගේම ව්‍යාපාර ඇරඹීමි. මාධ්‍ය ක්ශේත්‍රයටද පා තැබුවෙමි. මට හැකි දේ සොයා යන්නත්, ආස දේට හිත යොමු කරන්නත් මගේ දෙමාපියන් දුන් දිරිගැන්වීමත් මා කෙරෙහි තැබූ විශ්වාසයත් ඒ පසුපස ඇත. ඔවුන් එදා මා සිරකොට වෛද්‍ය වරියකට ඉන්ජිනේරු වරියකට මා කොටු කලානම් ඔබ අද දකින මා මෙතැන නැත. හෙට මගේ අරමුණ වෙන එකක් විය හැකිය. විශිෂ්ට සොයා ගැනීම් සියල්ලක් පසුපස වැරදුන වාර අනන්තවත් ඇත. අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය පමණි. 
සියල්ලන්ම කරන රැකියා වටිනා බවත්, එකක් හෝ නොමැති වුවහොත් මේ ලොව අසුන්දර තැනක් වන බවත් උගතිමි. පාර පිරිසිදු කරන අයෙකුගේ අඩුව වෛද්‍ය වරයෙක්ටවත්, CEO කෙනෙකුටවත් පිරවිය නොහැකි බව තේරුම් ගතිමි . 
තමන්ට ගිලිහුන බලාපොරොත්තු දරුවන්ගේ හිස මත පටවන්නේ නැති දෙමාපියන් ලැබීමට මා පින් කලෙමි. නැතහොත් ඔබ දකින මා, ඔබට තියා මටවත් හමු නොවනු ඇත. 


මා නැවතත් කියමි.  රොනල්ඩෝට ඔහුගේ දෙමාපියන් ඉංජිනේරුවෙක් වීමට බල කලා නම්, දක්ශ පාපන්දු ක්‍රීඩකයෙක් අද නැත. ඇල්බට් අයින්ස්ටයින්ව බලෙන් ගීත රචකයෙක් කලා නම් බොහෝ සිද්ධාන්තද අද නැත. අපි අදටත් ඔවුන්ව නම් කියූ පමණින් හඳුනන්නේ ඔවුන් ඔවුන් ම වූ නිසාවෙනි. ඔබ ඔබම වන්න. ඔවුන්ටත් වඩා දක්ශයෙක් ඔබ තුල සිටිය හැක. 

මේ නිදහස් චින්තනයට ඔබ අප හුරු වන්නේ නම් , සමාජය හා පවුල පටවන වෘත්තීය සිහින හරහා එන පීඩනය දරා ගත නොහැකිව සියදිවි නසා ගන්නා අය තවත් දවසක් නිදහසේ හුස්ම ගනු ඇත. ඔව් ඔවුන් අදටත් හුස්ම ගනු ඇත.


මා වැඩිහිටියන් ලෙස හඳුන්වන්නේ පුළුල් දැක්මක් ඇති, යමක් තේරුම් ගැනීමට ශක්තියක් ඇති අයවලුන්ය. එබැවින් මම කියන මේ යථාර්තය තේරෙන්නේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණි.

- අශන්ෂණී -

Comments

  1. ජීවිතය ජය ගැනීමට පොඩි පාඩමක්. ඔබේ වචන හැසිරවීමේ හැකියාව අපූරුයි. සුභ අනාගතයක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ❤

      Delete
  2. විකාර වෙලා ඉන්න අපිට හොද පණිවිඩයක්❤

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ❤

      Delete
  3. Really a nice one.
    Good luck with your future 😊🤝🏻

    ReplyDelete
  4. යුද්දෙ තිබ්බ කාලෙ හමුදා සෙබලෙක් වෙන්න තිබ්බ ආසාවෙ ඉදන්,
    ඊට පස්සෙ කාර් රේස් පදින කෙනෙක්, පයිලට් කෙනෙක්, සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක් පහුකරලා අන්තිමට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් තැන නතර වෙන්න ආපු ගමන මතක් උනා මේක කියෙවුවම...
    මගේ අදහස නම්, අපි කරන රස්සාව සසරෙන් පතාගෙන වගේ එන දෙයක්..ඇගෙන් එන හැකියාවක්...ඒ දේ ළග අපිට නතර වෙලා ඒ ඇගේ තියන හැකියාව ජීවිකාව කරගන්න පුලුවන් නං,
    අකමැත්තෙන් රැකියාව කරන පිරිසක් බිහිවෙන්නෙ නෑ... කොච්චර හම්බ කලත් කරන දේ ගැන සතුටක් නැති අතෘප්තිමත් ජීවිත බිහි වෙන්නෙ නෑ...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී