යන්න කලින් ආදරෙයි කියන්න
සමහර හැඟීම් කවි, කතන්දර වලින් නොදැනුනද ජීවිත අත්දැකීම් වලින් තදින්ම දැනෙයි. මේ මගේ පළමු ආදරය මා හැර ගිය කතාවයි. තවත් අයෙක් මා මෙන් පසු නොතැවෙන වස් මෙසේ ලියමි.
2010.08.06 එය පාසලේ අගෝස්තු නිවාඩුව දෙන දිනය විය. ප්‍රගති වාර්තා පොතත් ලැබුණි. එයද තුරුලු කරගෙන පාසල් වෑන් රථය නිවස අසල නතර කල විගස බිමට පැන නිවසට දිව ගොස් අම්මාට එය පෙන්නුවෙමි.
"හොදයි" ඇගේ මූණ ඒ තරම් හොද නැත. "ලෑස්ති වෙන්නකො තාත්ත බලන්න යන්න". තාත්තා මාස ගණනක් තිස්සේ රෝහලේය. ඒත් අම්මාගේ මූණ මේ තරම් මලානිකව දැක නැත. මන්දයත් මා මෙලොව දුටු ශක්තිමත්ම ගැහැණිය ඇයයි.
මුහුණ සෝදා ඇදුමක් ඇද ගතිමි.
"අම්මෙ report එක ගෙනියමුද තාත්තට පෙන්නන්න? "
"අද එපා" ඇගේ පිළිතුර විය.
අම්මාද නංගිද කැටුව රෝහලට ගියෙමි. හැමදා මෙන් තාත්තා බැලීමට පැමිණි අයගෙන් කාමරය පිරී ඇත. අප දුටු විගස ඇදේ වැතිරී සිටි ඔහුගේ මුහුණ සිනාවෙන් පිරී ගියේය. "O/L හොදට පාස් වෙන්න ඕනෙ හරිද" මා අතින් අල්ලා ගනිමින් ඔහු පැවසීය.
"අයියෝ තාත්තෙ මන් තාම 10 වසරෙනෙ. මොන O/Lද" ඔහු විභාග ගැන කතා කරන්නෙකු නොවේ. කුමක් වූවාදැයි නොදනිමි. අත් වාරු දී ඔහුව ඇදේ ඉන්දවූයෙමි. "කෝ තාරක?" ඔහුගේ ඊළග ප්‍රශ්ණය විය. "එයාට නිවාඩු හම්බෙලා නෑලු. " අයියා එවකට යුද හමුදාවේ උතුරු නැගෙනහිර සේවයේ නියුතුව සිටියේය. අයියාට මට වඩා ආදරේද සිතුණු වේලාවන්ද ඇත. ඔහුටද තාත්තෙක් මෙන් සැලකූවද නෑ කමට මගේ තාත්තා ඔහුගේ මාමා වන බැවින් ඔහුට ඒමට නොහැකිය. වෛද්‍යවරයාද කාමරයේ දොර ඇරගෙන පැමිණියේය.
"ඩොක්ට,මහත්තයට මොනවද කන්න දෙන්න ඕනෙ?" අම්මා ඇසුවාය.
"අම්ම්ම් එයා ඉල්ලන ඕනම දෙයක් දෙන්න."ඔහුගේ පිළිතුර අමුතු විය. මන්දයත් ඒ වන තුරුම ඒව එපා... මේව එපා... වැනි පිළිතුරු ඔහුගෙන් ලැබුනු නිසාවෙනි.
ඔහු තාත්තගේ වැඩිමහල් සහෝදරයාද සමග දොර ලගට ගියේය. මට නෑසුනා යැයි ඔවුන් සිතුවද මම ඒ සියල්ල අසා සිටියෙමි.
"මං දන්නෙ නෑ මෙයා කොහොම ජීවත් වෙනවද කියල. ගොඩක් අවයවයන් මේ වෙද්දිත් අක්‍රීයයි. හරි නම් මෙහෙම කල්පනාව තියෙන්නත් බෑ.කොහොම උනත් අදින් පස්සෙ දරුවො එක්කන් එන්න එපා.පුලුවන් wife වත් තියල එන්න අවසන් මොහොත අපිට කියන්න බෑනෙ.මේ පොඩි දරුවන්ට දරා ගන්න අමාරු වෙයි. "
මන් තාත්තාගෙ අත තදින් අල්ලා ගත්තෙමි. ඔහුට නින්ද ගොස් තිබුනි. මේ අත මේ විදියට රස්නෙන් ආයෙ අල්ලන්න වෙන්නෙ නැද්ද? අමුතු හැගීම් හිතට එන්නට විය . යන මොහොත එලඹෙන තුරුම ඔහුට තුරුලු වී සිටියෙමි. ගෙදර යා යුතු මොහොත එලඹිනි. "අම්මෙ අපිට අද මෙහෙ ඉන්න බැරිද?" ඇගෙන් ලැබුනේ සුසුම් ලෑමක් පමනි. හිත නොදුන්නද තාත්තාගේ අත අත් හැර නිවසට ආවෙමි. තුන් දෙනාම තුරුලු වී එලි වන තුරු හේතුවක් නැතුව හැඩූවෙමු.
එලි වූ විගස තාත්තා බැලීමට යාමට අම්මා ලෑස්ති විය. එය අදුරු 08.07 වැනිදාවයි.
"අම්මෙ අපි එන්නද? "
"නෑ නෑ නංගි එක්ක ගෙදර ඉන්න" ඒ වන විටත් දරුවන් රැගෙන නොඑන ලෙස ඇයට දැනුම් දී තිබුනි. සිතුවිලි කැලඹී ඇත කුමක් කිරීමටද නොදනී. කොන්තය රැගෙන තුරුල් කර ගතිමි . තාත්තාට කතා කරන්න කියා හදවත කියන්නට විය. අම්මාට දුරකතන ඇමතුමක් ගත්තෙමි .
"අම්මෙ තාත්තට කොහොමද?"
ඊයෙට වඩා නම් හොද පාටයි. හොදට ඉන්නවා."
මොන කරුමයක් දැයි නොදනිමි. තාත්තාට කතා නොකරම මම දුරකතනය විසන්දි කලෙමි. එය අදටත් මට ඇති ලොකුම පසුතැවීමයි
අයියාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනි.ඔහු කිසිවක් නොකීවද ඔහුගේ ඉකිගැසීම් මට දැනුනි.
"නංගි මහම්මට phone එක දෙන්න. "
විනාඩියක පමන කතා බහෙන් පසු ඇය කාමරයකට දිව ගොස් දොර වසා ගත්තාය. කුමක් වී දැයි නොදනිමි.තාත්තා ලග සිටි සියල්ලන්ට දුරකතන ඇමතුම් ගත්තෙමි.
"පුතේ මන් එලියට ආවා","තාත්ත නිදි"වැනි පිලිතුරු වලට වඩා යමක් නොලැබුනි.
තාත්තගේ සුවද හදිසියේම දැනෙන්නට විය. මා උණුසුම් වන බවක් දැනුනි. සුලඟක් මා වසාගෙන නැවත මගෙන් ඈතට ගියේය. පැය කීපයකින් අම්මා නිවසට ආවාය. ඇය සිටියේ බිම බලාගෙනය. කඩාවැටුනු හැගීම් ඇගේ මුනුණ වසාගෙනය.
"පුතේ තාත්ත ගියා"
ඇගේ හිස උකුලේ තබාගෙන කතා කරමින් සිට ඔහු යන්නට ගොස් ඇත.
රෑ එලිවන තුරා මගේ නෝනයි දරුවොයි බලන්න ඕනෙ . අර පේන්නෙ නැද්ද එයාලා එලියෙ බලන් ඉන්නවා යයි කියමින් ඔහු කාර්‍ය මණ්ඩලය සමග තර්ක කොට ඇත.දුර්වල වූ දෙපා වලින් අමාරුවෙන් ඇවිදිමින් දරුවන් බලන්නට ඕනෑ යයි කියමින් දිව ගොස් ඇත.
අවසානයේ දරුවන් තිදෙනාගෙන් එක් අයෙකුවත් නොදැකම සමු ගෙන ඇත.
වසර දහයකුත් ගෙවින් ගොසිනි. අදටත් ඒ වේදනාව එලෙසින්ම ඇත.
යන්න... එයා යන්න කලින් ආදරෙයි කියන්න.
හැමෝටම ඔයාට වගේ තාත්තා ලඟ ඉන්න වාසනාව නෑ.
-අශන්ෂණී-


😭😭😭😭😭
ReplyDeleteමටත් තියෙනව ඔය වගේම අත් දැකීමක්. මා ලග හිටි අප්පච්චි ඉස්පිරිතාලෙන් ගෙදර ආවෙ නැ.මේ පොස්ට් එකෙන් ඒ මතකය අලුත් වුනා. 😥
ReplyDeleteහදවත හරි තදින් රිදුනු සටහනක්
ReplyDelete