සම්ප්‍රදායද? ප්‍රේමයද? සාම්ප්‍රදායික ප්‍රේමයද?
ආයෙත් ලියන්න යන්නෙ කෙනෙක්ගෙන් ලැබුණ මාතෘකාවක් ගැන. මාතෘකාව කෙනෙක්ගෙ වුනාට මේක අපි ගොඩක් අය ජීවිතේ ඉල්ලගෙන කන තැනක්..
සම්ප්‍රදාය? මේක කොහොමද ප්‍රේමය එහෙමත් නැත්තම් ආදරේට බලපාන්නෙ? ඔය ප්‍රශ්නෙ විශේෂයෙන් එන්නෙ ලංකාව වගේ සදාචාරය, ජාතිය, ආගම, කුල මල ලොකුවට හිතන ආසියාතික රටවලට. මේ කතාවෙ එන අත්දැකීම් බොහොමයක් දෙනා මාත් එක්ක බෙදා ගත්ත ඒව. එයාලගෙ අනන්‍යතාවය හෙලි නොකර කතාව ඉස්සරහට අරන් යං. දෙයක් ජීවිතේට ඉගෙන ගන්න බලන්න.
බත් ඔතන්න හරි මංගල කිංකිනි පිටුව ගත්ත අය දැකල ඇති කුලයක නමක් කියල තමයි දැන්වීම පටන් ගන්නෙ කියන එක . අශන්ෂණී පුංචි කාලෙ ඉඳන් ඔය මංගල කිංකිණී කියන පත්තරේ නම් මිස් කරන්නෙ නෑ ( නෑ නෑ මනමාලයෙක් හොයන්න නෙමේ, ඕපදූප හොයන්න හුම්ම් ). මට තිබ්බ ඔය කාලෙ හෙන ප්‍රශ්නයක්. බලන බලන හැම එකේම බොදු ගොවි කියල තියෙනව. 'ඇයි හත්තිලව්වෙ, බෞද්ධ ගොවියෙක්ට කෙල්ලෙක් හොයා ගන්න ඔච්චර අමාරුද?' මට හිතුනෙ එහෙමයි. කුල වලින් ආගම් වලින් මිනිස්සුන්ගෙ ආදර කතා විනාස කරන්න පුලුවන් කියන සංකල්පය මගේ පුංචි මොලේට බර වැඩී ඒ කාලෙ (තාමත් මොලේ නම් පුංචියි තමා හැබැයි දැන් ඉතින් පණ්ඩිතයිනෙ ). ඔහොම යද්දි යද්දි ජීවිත අත්දැකීම් වැඩි වෙන්න ගත්ත. අමුතු කතන්දර ඇහෙන්න ගත්ත.. මිනිස්සුන්ගෙ මතවාද ආදරේට බලපෑම් කරන හැටි හොඳින්ම තේරෙන්න ගත්ත. 'එයා දකුණෙ මං නුවර ඉතින් අපි ගැලපෙන් නෑ..' හෑ??? දුර වැඩි නිසාද? එහෙම කියන අයගෙන් මම ඇහුවෙම ඔය වගේ මෝඩ ප්‍රශ්ණ. ඒත් ඒ මිනිස්සුන්ගෙ ජීවිත කතා තිබ්බෙ ඊට වඩා සංකීර්ණ අග්‍ර වල. බොහොමයක් ආදර කතා විනාස වෙලා තිබ්බෙ, එයාල කවදාවත් ඉල්ලපු නැති ඒත් උපතින්ම උරුම වෙච්ච කුලයක් නිසා. අපිට තීරනය කරන්න බෑ අපි ඉපදෙන්නෙ මොන පවුලෙද කියන එක. අන්න ඒ නිසාම අපිට තීරනය කරන්න බෑ අපේ කුලය මොකක්ද කියන එක. ඒත් අමාරුවෙන් ජීවිතේ ගොඩනගාගෙන තැනකට ආවට පස්සෙ, ආයෙමත් ඒ කුලය කියන එක හරස් වෙලා ආදරේ කරන අයව අපිට අහිමි කරනව. මොන තරම් අසාධාරණද?
ඔය අස්සෙ තවත් එකක් එනව කරලියට. සම්ප්‍රදාය හා සංස්කෘතිය .... ඕක අපේ සමාජෙට ගොඩක් බලපෑම් කරන්න ගන්නෙ ඉස්සර ලියවුනු සාහිත්‍යමය කාරණා වලට අපේ මිනිස්සු විචාර ලියන්න පටන් ගත්තට පස්සෙ. පොඩි උදාහරණයක් කියන්නම්. කාව්‍යශේඛරයෙ තියෙනව මෙන්න මෙහෙම කවියක්.
'පෙකිනිය නොදක්වා - සළු ඇඳ බෙලට දක්වා
නොපව තන සක්වා - සිනා නොම සෙන් දසන් දක්වා'
ඔන්න ඔය කවිය කාව්‍යශේඛරයෙ බැමිණියකට දෙන උපදේශයක් මිසක් සාමාන්‍ය කාන්තාවකට දෙන උපදේශයක් නෙමෙයි. දැන් අපේ අය මොකද කරන්නෙ? කෙල්ලෙක් කෑ ගහල හිනා වුන ගමන් මැරෙන්න හදනව හයියෝ අපේ අවුරුදු දහස් ගාණක ප්‍රෞඩ ඉතිහාසය කියල. ඕක ලිව්වෙ කව්ද , කාටද, ඇයි කියලවත් දන්නෙ නැති මිනිස්සු, ඒ කවියම පාවිච්චි කරල අනිත් අයව මනිනව. කිසිම ආගමක්, කිසිම ජාතියක් , කිසිම සංස්කෘතියක පැත්තක් ගන්නෙ නැතුව කතා කලොත් මේ ගැන මගේ අදහස මෙහෙමයි. මේ ලෝකෙට තවත් ජීවිතයක් දායාද කරන්න ශක්තියක් තියෙන ගැහැණියකට දසන් දක්වා හිනා වෙන්න එපා කියන්න අයිතියක් සමාජෙට නෑ. හිනාව තමා අපිට කෙනෙක්ට නොමිලේ දෙන්න පුලුවන් ලස්සනම තෑග්ග. ලෝකෙට ජීවය දෙන ගැහැණියට ඒ අයිතිය නැත්තම්, ඒක මේ ලෝකෙ කාටවත් නෑ. 'අනේ නංගි, අපේ අම්මල කියනව ඔයා මහ නැහැදිච්ච කෙල්ලක්, හිනා වෙන්න දන්නෙ නෑ හැසිරෙන්න දන්නෙ නෑ.. අපි මේ සම්බන්ධෙ නවත්තමු' කියල, අනේ යන්න දෙන්න. යන්න ඕනෙ එකා ඔයාගෙ හක්කෙ දතක් ඇදයි කියල හරි යනව. අපේ සමාජය 'සංස්කෘතිය' කියන වචනෙ පාවිච්චි කරන්නේ අනිත් අයව පාලනය කරන්න, එයාලට තරුණ කාලෙ කරන්න බැරි වුන දේවල් අනිත් අය කරනව දැක්කම දරා ගන්න බැරි වෙන එකේ ඇරියස් කවර් කරන්න, සහ තමන්ට කිසිම දාක හැකියාවක් පෙන්නල ලබා ගන්න බැරි ඉහල තලයක් සමාජය තුල ගොඩ නගා ගන්න.
'අපේ දුවනම් කොල්ලෙක් දිහා ඇහැක් ඇරල බලන් නෑ...' එහෙනම් ඔයාගෙ දුවට ලෙඩක්, නැත්තම් ඔයා දුව ගැන දන්නෙ නෑ..
'කොටට අඳින කෙල්ලන්ට මං ආස නෑ බං. මං ඒ නිසා කෙල්ලට කිව්ව දිග ඒව විතරක් අඳින්න කියල.'... කොටට අඳින කෙල්ලෙක් අල්ලන් දිගට අන්දන්න හදල, ඒ කෙල්ලගෙ ආසාවල් විනාස නොකර ඒකිට ජීවිතේ විඳින්න දීල එක්කො දිගට අඳින්න කැමති කෙනෙක් හොයා ගන්න, නැත්තම් බෙහෙත් ටිකක් ගන්න..
ඔයිට වඩා උත්තර මගෙන් හම්බෙලා නැතුව ඇති. මං කියන්නෙ නෑ සීයට සීයක් ගැලපෙන මිනිස්සු ඉන්නව කියල. අපි අනිත් කෙනාව තේරුම් ගන්න පුංචි පුංචි කැපකිරීම් කලත්, ඒ කැපකිරීම් අස්සෙ මං තුල ඉන්න මගේ අනන්‍යතාවය මැරෙනවනම්, මම ඉන්නෙ වැරදි බැඳීමක. අපි හැමදාම ඉන්න ආපු මිනිස්සු නෙමෙයිනෙ.
'රස්සාවකට ගියොත් මේ සම්බන්දෙ ඉවරයි. අපේ පරම්පරාවෙ ගෑණු රස්සාවල් කරන්නෙ නෑ'. කියන කෙනෙක්ට ' එහෙනම් ඔයා හොයන්නෙ මාව නෙමෙයි' කියන්න ධෛර්යයක් හදා ගන්න. karmic relationship වල පැටලෙන්නෙ නැතුව තමන්ගෙ කෙනා හම්බෙනකල් ඉන්න.
සාම්ප්‍රදායික ප්‍රේමයක් ගැලපෙන අය ඉන්නව, නොගැලපෙන අයත් ඉන්නව. අනිත් අය කරන පළියට එහෙම එකක පැටලෙන්න යන්න එපා. ආදරේ කරනව කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. මං එයාව පස්සෙ වෙනස් කර ගන්නව කියන සංකල්පෙට යන්න එපා.
බැඳීම මොන තාලෙක එකක් වුනත්,ගැහැණියකට එයාගෙ තැන නොදෙන, ගෑණු පිරිමි කියල වර්ග කරල නීති දාන තැනක හිර වෙන්න එපා. මම feminist මත දරන්නෙ නෑ. ගැහැණු පිරිමි කියල බේදයක් නෑ , අපි අපේ හැකියාව පෙන්නල ඕනෙ තැනකට එන්න. මං ගැහැණියක් වුන පලියට මට අනුකම්පා කරන්න ඕනෙ නෑ.හැබැයි මගෙ හැකියාවක් නිසා මට ලැබිය යුතු දෙයක් තියෙනවනම් ඒක ලැබිය යුතුයි.
මං දවසක් දේශනයකට සම්බන්ද වෙලා ඉද්දි විශේෂ කෙනෙක්ගෙ කතාවකට ඇහුම්කන් දෙන්න ලැබුනා. ඒ එවරස්ට් කන්ද තරණය කරපු පලවෙනි ශ්‍රී ලාංකිකයා, Jayanthi Kuru-Utumpala. ඇය තමන්ගෙ කතාව ඇතුලෙ හරි ලස්සන වාක්‍ය කීපයක් කිව්ව. 'මං එවරස්ට් කන්ද තරණය කරපු මුල් කාලෙ මිනිස්සු මට කිව්වෙ, එවරස්ට් තරණය කරපු පළවෙනි ලාංකික කාන්තාව කියල. නාලිකා වල පවා මාව හඳුන්වල දුන්නෙ එහෙමයි. මං එයාලගෙන් ඇහුවෙ එක ප්‍රශ්නයයි. ඇයි ඔයාල එහෙම කියන්නෙ? මට කලින් එවරස්ට් තරණය කරපු ලංකාවෙ පිරිමි කෙනෙක් ඉන්නවද? නෑ නේද? මම එවරස්ට් කන්ද මුදුනට ගිය පළමු ශ්‍රී ලාංකිකයා මිසක් පළවෙනි කාන්තාව නෙමෙයි.' කාන්තාව ඔබ හිතනවට වඩා ගොඩාක් ශක්තිමත්, ඒ නිසා ඔයාට වටිනාකමක් නොදෙන තැනක නවතින්න එපා.
ඔයා කොල්ලෙක්නම්, ඔයාගෙ තාලෙට ජීවිතේ විඳින්න පුලුවන් කෙනෙක් හොයා ගන්න. තවත් කෙනෙක් වෙනස් කරල තියා ගන්න ගියත්, එයාව නැති වෙයි කියන බයට එයාට ඕනෙ විදියට ජීවත් වෙන්න ගියත් ඔයාට ඔයාව නැති වෙනව. මානසික නිදහස කියන එක සදාචාරයට වඩා ගොඩාක් වටිනව.
ඔයාල ජීවිතේ විඳිනකොට සම්ප්‍රදාය කියන්නෙ වචනයක් විතරයි. කොටට අඳින එකට අකමැති ගොඩක් ගැහැනු අය තමන්ගෙ තරුණ කාලෙ ඒක කරන්න බැරි වුන අය, ඔයා ඉගෙන ගන්නවට අකමැති ගොඩක් නැන්දම්මලගෙ පුතාල ඔයාගෙ බුද්ධියට ගැලපෙන බුද්ධි මට්ටමක් නැති අය, කෙල්ලෙක් වුනාම කොල්ලො යාලුවො වෙන්න බෑ කියල හිතන ගොඩක් අය තමන්ගෙම රාමුවක කොටු වුන අය. සංස්කෘතිය, සදාචාරය ලියන්නෙ එයාල එයාලට වාසි විදියට. ඔයාලගෙ ආදර කතාව ලියන්න ඔයාල, ඔයාලට කැමති විදියට.
- අශන්ෂණී-
Comments
Post a Comment