ඇතුවත් බෑ නැතුවත් බෑ

මේ කතාව ටිකක් වෙනස්. මේ කතාව අශන්ෂණීගෙ හදවතට ලඟ දෙන්නෙක් ගැන.

අවුරුදු 9ක්ම ඉතින් මං පවුලෙ එකම ළමයා. ඔය අවුරුදු 9 ගත වෙන්නෙ ගොඩක්ම මගේ අම්මගෙ අක්කගෙ පුතා, නසරානි තාරක එක්ක. මා නසරානියෙක් කියල හිතනවනම්,  අයියා නසරානියාගෙත් නසරානියෙක් කියල කිව්වොත් වැරදි නෑ.. ඔහු මගේම සහෝදරයා නෙමෙයි වුනත් අපි හැදුනෙ වැඩුනෙ එකට. මම ඉපදෙනකොට එයාට අවුරුදු 11ක්. එයාටවත් මටවත් වෙන සහෝදරයින් ඒ වෙනකොට නොහිටපු නිසා අපි සෙල්ලම් කලෙත් එකට.
පොඩි කාලෙ ඉදන් මාව වහල් සේවයේ යොදවන්න නසරානි තාරක පුරුදු වෙලා හිටිය. උදේට අයියගෙ ඇඳ අස් කරනවට මට රුපියල් 5ක තෑගි මුදලක් ලැබුන. ඒ කාලෙ 5ට විතරක් යන්තම් ගණන් කරන්න දන්න මට ඕක ඉතින් හෙන ලොකු ගාණක්. එතනින් නැවතුනේ නෑ.  දීපු රුපියල් පහ දවල් වෙද්දි හොරකම් කරල ඒ රුපියල් පහ ම ඊළග දවසෙත් දෙනව. කියන්න සන්තෝසයි පින්වතුනි මොන තරම් වහල් සේවයේ යෙදුනත් මන් ලග හැමදාම තිබුනෙ රුපියල් 5යි ... 'මට මගේ නොවන මගේම රුපියල් පහක් තිබුන'.... සමනල සන්ධ්වනිය ටිකක් කලින් ගියා නම් මට ඒ සිංදුවෙ තාලෙට මගෙ දුක කියන්න තිබ්බ.
මම පොඩි කාලෙ කන්න බොන්න හරි හොරයි. ඒත් අම්මල මාව influence කරන්න පාවිච්චි කලේ වැරදි මනුස්සයව. මිනිහ කලේ මට කන්න ගෙනාපු චීස් කොටුවට කපල ඊට උඩින් Sunlight කියල ගහල මට පේන්න කනව. කියන්න සන්තෝසයි මන් දූවල ගිහින් අම්මගෙ රෙදි හෝදන සබන් කැටේ කනව. 'හහ් අයිය කෑවනම් මන් කෑවට මොකෝ.'කියල හිතල හෙන ගැම්මෙන් තමයි කෑවෙ. ඔය නසරානි වැඩ වලට අයියට දඩුවම් කරනව බලන් ඉද්දිත් අමුතු මෙව්ව එකක් තියෙනව.
අපිට wrestling පිටියක් වගේම අපේම සෙල්ලම් ගෙයක් තිබුන. ගෙයක් කිව්වට ගෙයක්  නෙමේ ඒක කඩයක්. ඕකෙ මුදලාලි මගේ අහිංසක ටෙඩියා. කවදත් කතාවෙ වීරය අයිය තමා. මම එතකොට බඩු ගන්න එන මිනිහෙක්ද? අනේ නෑ පින්වතුනි! මට කවදාවත් සෙල්ලම් ගෙදර එච්චර හොඳ චරිතයක් හම්බුනේ නෑ. මම සෙල්ලම් කඩේ හොරා. මම කඩෙන් බඩු හොරකම් කරද්දි වීරය ඇවිත් මට ගහල කඩේ බේර ගන්නව 😒 මොන සෙල්ලම්ද අප්ප මේව.
ඕවට පලි ගන්න ආපු අවස්ථා නැතුවාම නෙමෙයි. ඔන්න දවසක් අයියගෙ යාලුවො එක්ක අයිය ලොකු සාකච්ඡාවක්. මාත් දැම්ම රබර් කන සාකච්ඡාව පැත්තට. හහ් හවසට මාලු බාන්න ඇලට යන්න කතාව. මාව ගෙනියන්න බෑලු 😒😒 ඔන්න ඉතින් වැඳල පුදල කොල්ල ඇවිත් අම්මගෙන් ඇහුව පුංචි මම පාඩම් කරන්න යන්නද කියල. අම්මත් ඉතින් හා කිව්ව. අතෑරියෙ නෑ අයිය යනකල් ඉදල අම්මටයි තාත්තටයි කිව්ව කේලම. අම්ම නම් ඒක ලොකුවට ගණන් ගත්තට තාත්තා ගණන් ගත්ත පාටක් නෑ. මට ඉතින් තරහයි. මගේ තාත්ත මොකද ඒ මෝඩයට ආදරේ. 😒 ඔන්න මිනිහ හවස් වෙලා එනව පාඩම් කරල හරි මහන්සි කියාගෙන. මට ඉතින් හරි ජොලි.'ගහන්න අම්මෙ ගහන්න ඕකට. මාව ගෙනිච්චෙත් නෑ හුම්ම්ම්' අන්න එහෙමයි හිතුනෙ. තාත්තටනම් ගානක් නෑ. අම්ම විස්තර අහන්න කලින් තාත්තා අයිය එක්ක එලියෙ බංකුවෙන් වාඩි උනා.
'කොහෙද පුතේ ගියෙ'
'අද නම් අකුරක් නැති වෙන්න පාඩම් කලා. මේ පාර නම් ලකුණු තියෙයි'.
'ඉතින් ලොකු මාලු අහු උනාද?'
'පොඩි මාලු විතරනෙ අප්ප අහු උනේ'
තාත්තට  ඕන උත්තරේ ඔන්න ඔහොම අයියගෙ කටින්ම ආව. ඒකටනම් දඩුවම් නෑ අවවාද විතරයි හහ්. හැබැයි එදා සෙල්ලම් ගෙදර මම වීරය. එයා හොරා 😎

ඔහොම ගෙදර රජ කරගෙන ඉද්දි මෙන්න ආව තවත් සිඟිතිබටිල්ලෙක්. පවුලෙ එකම ළමය විදියට කිරුළු දරපු කාලෙ ඉවරයි. එයා මේ ලෝකෙට ආපු දවසෙ තමයි මං ජීවිතේ පළවෙනි වතාවට අම්ම නැතුව නිදා ගත්තෙ.කොහෙද ඉතින් ලෝකෙට ආවෙම මාව කොන් කරගෙනනෙ. උදේ නැගිට්ටෙම මූණ දෙක කරගෙන. Mood fix කරන්නත් එක්ක තාත්තා කිව්ව නංගි බබා බලන්න යන්න ලෑස්ති වෙන්න කියල උදේ පාන්දරම. නංගිට පේන්න යන්න එපැයි ලස්සනට. ඇන්ද මං ආස ඇඳුම් සේරම. කලිසම් දෙකයි, ටී ශර්ට් 3යි, over coat එකයි. තාත්ත හරි අමාරුවෙන් තමා කැමති කර ගත්තෙ එක කලිසමකුයි, ටී ශර්ට් එකකුයි විතරක් අඳින්න. මං අර සේරම ඇඳන් ගියා නම් අම්මට කලන්තෙ හැදෙනව.
ඔන්න පටන් ගත්ත නරක කාලෙ. තාත්ත ආපු ගමන් වඩා ගන්නෙ නංගිව. අම්ම වැඩියෙන්ම ඉන්නෙත් නංගි එක්ක. ඒ විතරක් නෙමෙයි අයියගෙ අවදානයත් වැඩියෙන් යන්නෙ නංගිට. ඒ විතරක් නම් මදැයි මූට මට වගේම නමකුත් දාල ' ආශින්ෂණී'. කොන් වෙනව කියල මෙහෙමත් කොන් වෙන්න පුලුවන්ද? නංගි මාව හැපුවට මට හපන්න බෑ මං ලොකුයි ලු. නංගි ගැහුවට ගහන්න එපාලු මං ලොකුයිලු. මේක කරන්න බෑ ගැහුව plan එකක්. කූඹි ගුලක් ලඟට ගිහින් එතන ඉඳන් නංගි ඉන්න තැනට වෙනකල් කෑම දැම්ම. මට නංගිව හපන්නනෙ එපා කිව්වෙ. කූඹි ගේන්න එපා කිව්වෙ නෑනෙ හුම්ම්. හවස් වෙනකල් බලන් හිටිය මිත්‍රවරුනි එක කූඹියෙක් ආවෙ නෑ. ඒ plan එකත් කුඩු. ඔන්න ඔහෙ කමක් නෑ කියල ටික කාලයක්  ඉවසල හිටිය.ඔහොම යද්දි දවසක් මං කේක් කන ගමන් නංගිටත් කෑල්ලක් කවල බැලුව.දත් නැති කටින් කේක් කනකොට හරි හුරතල්. ආයෙ කිට්ටු වෙලා, තව කේක් කෑල්ලක් කවල, කන දිහා බලන් හිටිය. ඒ පාරනම් ඒක අම්ම දැක්ක. මං හිතුවෙම බැනුම් අහන්න වෙයි කියල. ඒත් හම්බුනේ වෙනස් උත්තරයක්. 'අම්මෝ යන්තම් මට සතුටුයි. කවද හරි මායි තාත්තයි නැති කාලෙකත් දෙන්න ඔහොම්මම ඉන්න ඕනෙ' කියල දෙන්නවම අල්ලල බදා ගත්ත. අන්න එදා ඉඳන්  තමා අපේ සමගි සන්ධානෙ පටන් ගත්තෙ.
නංගි 1 වසරට එනකොට තාත්තා මේ ලෝකෙන් යන්නම ගියත් අදටත් ඒ අඩුව කොහෙත්ම නොදැනෙන්න නංගිව බලා ගන්න මං උත්සහ කරනව. දුවෙක් තාත්ත කෙනෙක්ට කියන දේවල් එයා මට ඇවිත් කියන්නෙ, සමහර විට එයාට මාව එහෙම දැනෙනව ඇති.
සහෝදරයො කියන්නෙ අමුතු හැඟීමක්. වෙලාවකට වදයක් වගේ දැනෙනව ඇති. එහෙම වෙන්නෙ අපි හැමෝම එක වගේ නැති නිසා කියල මම හිතනව. මං වගේ අය ලෝකෙටම ඉන්නෙ මං විතරයි. අපි වටේට ඉන්න අනිත් අයත් එහෙමයි, unique. එකම කුසෙන් ආවත් අපි එකිනෙකාට වෙනස්. ඒ නිසා අපි කැමති විදියට එයාල හැසිරෙයි කියල බලාපොරොත්තු වෙන එක වැරදියි. මොන තරම් රණ්ඩු වුනත් තරහ වුනත්, එයාල නැතුව ජීවිතේ අසම්පූර්ණයි.අපි හැමදාම ජීවත් වෙන අය නොවන නිසා, එක පාරක් හරි ගිහින් එයාලට ආදරෙයි කියන්න. සහෝදර බැඳීම් කියන්නෙත් අමුතු විදියෙ තෑග්ගක්.

හැබැයි තව එකක්. මේ කූඹි ගුලේ කතාව අපේ අම්මට එහෙම පෙන්නල ගෙදරින් හම්බෙන බත් එක නැති කරන්න එපා. Blog ලියන්න කලින් ජීවත් වෙල ඉන්න එපැයි.

-අශන්ෂණී-

Comments

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි