එදා ඉඳන්

 එදා ඉඳන් ඉස්සරහට ආ ගමන තාමත් මතකය. 

'පුතේ තාත්තා අපිව දාල ගියා' අඬා හෙම්බත් වූ අම්මාගේ මුවින් ඒ වචන අසා පුංචි කෙල්ලෙකු මෙන් කාමරයට දිව ගොස් අදට වසර 10කි. අද කතාව සුන්දර නැත. මන්දයත් දෛවය අපට ගෙන එන වේදනාත්මක සමු ගැනීම් කෙසේවත් සුන්දර වන්නේ නැත. 


2010.08.07 එදා කාමරයට දිව ගිය කෙල්ල මට අදටත් මතකය. ඇයට ජීවිත අරමුණු තිබුණේ නැත. අම්මාගේ අතේ එල්ලී පන්ති යනවාටත්, පාසල් වෑන් රථයෙන් පාසල් යනවාටත් එහා ලෝකයක් ඇය දැක තිබුණේ නැත. නමින් ඇය අශන්ෂණී වුවද, අද මා තුළ සිටින්නේ ඇය නොවන වග හොඳටම විශ්වාස ය. එබැවින් වසර දහයක් ඈතට ඇය සොයා යන්නට සිතුණි. 

අතීතය සිසාරා යන ගමනේ එක් තැනක නවතිමි. මතකය නැවතුණු තැන පොලිස් නිලධාරීන් 6 දෙනෙක්ගේ ආරක්ශාව සමග ඉදිරියට ඇදෙන නිල රථයකි. රථයේ එක් තැනක තාත්තාගේ අතේ එල්ලී තල් අරණේ සිරි විඳින පුංචි කෙල්ලෙකි. 

'තාත්තෙ තල් ගෙඩිත් පොල් ගෙඩි වගේ ද? ඒව ඇතුලෙ තියෙන ඒවත් මිනිස්සු බොනවද?'

'ඔව් පුතේ දවසක පෙන්නන්නම්'

තල් ගෙඩි බලන්නට 'දවසක්' එන තුරු සිටීමට සිදු වූයේ නැත. කතාව අසාගෙන වාහනයේ පිටුපස අසුන් වල සිටි සෙසු නිළධාරීන් තල් වලු පිටින් උස්සාගෙන සවස් වන විට ගෙදර ඉදිරිපිටය. ඒ ආදරය, කරුණාව ලැබෙන්නේ තනතුරු තිබෙන තාක් පමණක් බව තේරුම් ගන්නට ඒ පුංචි මෝඩ කෙල්ලට දැනුමක් තිබ්බේ නැත. ඒ එක් සිදුවීමක් පමණකි. තනතුරු ඇතිදා පමණක් ඇති වුන් මැවූ සුරංගනා කතන්දර අසූ කෙල කෝටියම දන්නේ ඇයත් ඇගේ දිනපොතත් පමණි. 

'නෑදෑයෝ' ගැන කතා නොකරම බැරිය.

'හුරතල් කෙල්ල... හොඳට ඉගෙන ගන්නව නේද?' 

'ඔයා ඉගෙන ගද්දි අපිටත් සතුටුයි.'

වසර 11කට පමණ පෙර ආදරය දෝරෙ ගැලූ හැටි තාමත් මතකය.

මේ සුරංගනා කතා ඇසූ පුංචි මෝඩ කෙල්ල තුලින් ඔබ දකින අශන්ෂණී උපත ලබන්නේ මීට වසර 10කට පෙර අද වගේ දවසකය. ඇය එදා පටන් සමාජයට මුහුණ දෙන්නේ තනියමය. මා මෙන් තවත් අය සමාජයේ ඇති නිසාවෙන් මගේ කතාව මෙසේ ලියමි. ඒ කිසිවෙකුට අපහස කරන මුවින් නොව ඔබ නගා සිටුවන අදිටනින්ය. 

අශන්ෂණී වන මා 1995.09.17 සිට 2010.08.07 දක්වා ඇසූ කතා වලට වඩා 2010.08.07 සිට 2020.08.07 දක්වා ඇසූ කතා බෙහෙවින්ම වෙනස් ය. 

'දැන් තාත්තත් නෑනෙ ඇයි අම්ම කොණ්ඩෙ කපන්නෙ ඉස්සර වගේ?'

පරණ අශන්ෂණී නම් මෙවැනි ප්‍රශ්ණයක් හමුවේ අඬාගෙන ගෙදර දුවනු ඇත. 

'මගෙ අම්ම ඉන්නෙ එයාට ආස විදියට. අපි ආසත් එහෙමයි. මොකක්ද ප්‍රශ්ණෙ?' අසන මට්ටමට අශන්ෂණී යන චරිතය වෙනස් කර ගන්නට මට සිදු විය.

'ඒකිට තාත්තත් නැතුව ඔච්චර ඉගෙන ගන්න පුලුවන් නම් ඇයි උඹට බැරි' 

'තාත්ත නැතුවට තාම ගෑස් වල නම් අඩුවක් නෑ නේද?'

නෑදෑයන්ගේ ආල වදන් තව දුරටත් නැත. වාසනාව නම් මේවා සිනා සිසී අසා සිටීමට තරම් මා දැන් ශක්තිමත්ය.

මෙහෙමත් මිනිස්සු ඉන්නවද? ඔබට පුදුම හිතෙනු ඇත. මිනිසුන්ගේ සැබෑ තත්ත්වය දකින්නටනම්  ඔබත් මා මෙන්ම වේදනාකාරී අත්දැකීම් රාශියක් පසු කල යුතුය. එහෙත් කිසිවෙකුට එසේ වේවායි නොපතමි. 

එදා 10 වසරේ සිටි පුංචි කෙල්ල ඉතාම ඉහළින් සාමාන්‍ය පෙළ විභාගයත්, උසස් පෙළ විභාගයත් සමත්ව, විශ්ව විද්‍යාල වරම් ලබා, කැමතිම අංශයෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර, කැමතිම අංශයෙන් ව්‍යවසායකත්වයටත් යොමු වී, කැමතිම රැකියාවේද නිරත වී සිටියි.

 Image may contain: අශන්ෂණි මලීෂා

මෙතෙක් දුර ඇයව ගෙන ආ ආත්ම ශක්තියට මා පිං දෙමි. මන්දයත් තනියෙන් හැඬීම පහසු නැත. වැටෙන වැටෙන වර තනියෙන් නැගිටීමද පහසු නැත. වැටුනු තැනම සිටියානම් මේ කතාව ලියන්නට මාත් නැත, එසේත් නැත්තම් ඔබට ධෛර්යයක් ගෙන දෙනු වස් ලියන්නට වැඩකට ඇති ජීවිත කතාවක් මා සතුව නැත. ඔබ දැන් සිටින්නේ වසර 10කට පෙර මා සිටි තැන නම්, දවසක ඔබ ජීවිතය ජය ගත් හැටි ලියවෙන කතාවක් දකින්නට මම බලා සිටිමි. 

වසර 10කට පෙර මා බලන්නට ඕනෑ යයි කියමින් පෙරළි කල ඔහු මා නොදැකම , වේදනාවෙන් සදහටම දෙනෙත් පියාගෙන තිබුණි. එහෙත්, අද මා සිටින තැන දැක ඔහු හදවතින්ම සිනාසෙන බව පමණක් දනිමි.

- අශන්ෂණී -

Comments

  1. අශන්ෂණී මලීෂා මා හන්දුනාගෙන වැඩි කාලයක් නැත. එහෙත් මා හන්දුනන මලීෂා කිසි දිනක බැහැ කිවුවේ නැත. සෑම කටයුත්තක්ම ඉතා හොන්දින් ඉටු කිරීමෙ උවමනාව ඇයට ඇත. වසර විසි ගනනක් තුල ඔබ කර එති ඩෑ බොහෝය, ඉදිරියට යාමට ශක්තිය ලෙබේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි <3 ඒ වචන ගොඩාක් වටිනව

      Delete
  2. MGM Resorts Announces Partnership with MGM Resorts For
    The MGM Resorts International has announced a new partnership with 안산 출장마사지 MGM Resorts 나주 출장마사지 International, the parent company m w88 of the 태백 출장안마 popular Las Vegas 서울특별 출장샵 casino.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි