C ගත්තොත් බැරිද?



දන්නෙ නෑ... කතාව කියවල ඉවර වෙද්දි ඔයාට හිතෙනවනම් පුලුවන් කියල, පුලුවන් ඇති. කතාව ඉවර වෙද්දිත් පුලුවන් කියල හිතුනෙම නැත්තම් ඔලුවට දෙකක් ගහගෙන ආයෙ මුල ඉඳන් කියවන්න. 


පහුගිය කාලෙම මගෙන් message එවල අහපු ලොකුම ප්‍රශ්ණයක් තමයි 'අක්කෙ මට C එකක් තියෙනව module එකකට. මට 4th year යන්න බැරි වෙයිද?' කියල. හැමෝටම සවිස්තරාත්මක උත්තරයක් දෙන්න බැරි උන නිසාත්, කීප දෙනෙක් ඉල්ලීම් කල නිසාත්, එකෙක් දෙන්නෙක් හරි මේක කියවල ගොඩ යයි කියල හිතෙන නිසාත් මේ ගැනත් ලියන්න හිතුන. 

ගොඩාක් අය හිතන් ඉන්න විදියට අශන්ෂණී කියන්නෙ පොතට ඇලුණු ඩයල් එකක්. බම්බුව තමා! ඔයාලට කියන්න, mid exam එකට වාඩි වෙන්න ගියාම lecturer ලඟට ඇවිත් 'ඔය ළමය මේ batch එකේද' කියල අහපු වෙලාවල් පවා තිබ්බ. sports කරන්නයි, announcing කරන්නයි, lectures යන්නයි, clubs වල වැඩ කරන්නයි, competitions, events වලට යන්නයි තව දේවල් හැටහුටහමාරක් කරන්න මම ඉතින් කතරගම දෙයියො නෙමෙයිනෙ. මට වැරදුන තැන් අනන්තවත් තිබ්බ. එකම දේ තමයි මං ඒව වලින් ඉක්මනින් පාඩමක් ඉගෙන ගත්ත. 

මම කැම්පස් එන්න කලින්ම මම යන අංශෙ මොකක්ද කියන එක තීරණය කරල ඉවරයි. අංශෙ කියල කිව්වෙ දැන් කරන රස්සාවට එහෙම නෙමෙයි. ඒ රස්සාවෙ නම දැන ගත්තෙත් 2nd year ඉන්න කාලෙ. ඒත් මං දැන් ඒක කරන්නෙ හරිම සතුටෙන්. ඒ නිසා කැම්පස් යන්න ගත්ත දවසෙ ඉඳන්ම අනේ මට රස්සාවක් හම්බෙයිද, ඔන්න ඔහෙ අහු වෙන එකක් කරනව කියන මානසිකත්වෙට වැටිල තනියෙන් විඳවන්න එපා. අරමුණක් තියෙනවනම් හොඳයි. අරමුණක් නැත්තම් ඊටත් වඩා හොඳයි. මොකද ඔයා ආසම දේ ඔයා තේරුම් ගත්ත දවසට, ඒ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න ඔයාට පණ තියෙනව. පණ යනකල් රැල්ලට හැමෝම කරන ඒව කරන්න යන්න එපා. රැල්ලට යන්න ගියොත්, රැල්ලට උඩින් තව රැල්ලක් ගිහින් නහයට උඩින් වතුර යනකල් ඔයා දන්නෙවත් නෑ. 

දැන් කතා කරමු C එක ගැන. ඔව් මාත් C අරන් තියෙනව. ඒකත් හරි වේදනාත්මක විදියට. මම දැන් කියන්න යන්නෙ ඒ කතාව. කාටවත් පේන්න , දැනෙන්න, අපහස කරන්න නෙමේ. වැටිල ඉන්න උන්ට නැගිටින්න. මිනිස්සුන්ට එක එක ආසාවල් තියෙනව. කැම්පස් එද්දි මටත් ආසාවක් තිබුන 1st class එකක් ගන්න. ඒක ආසාවකටත් වඩා අරමුණක්. ඉතින් 3rd වෙද්දිත් ඔය අරමුණ වෙනුවෙන් මං වැඩ කරමින් හිටියෙ. හරියටම 3rd year 2nd semester exam අතර කෙනෙක් අතින් දරුණු විදියට හිත් බිඳීමක් වෙනව. අවුරුදු 6ක ප්‍රේම සම්බන්ධයක සුදු කොඩි පේන අතර exam එකක් කරන්න හිත හදා ගන්න තරම් මට පුළුවන්කමක් තිබුනෙ නෑ. ඔලුව කෙලින් කරගෙන ආයෙ exam ලියන්න ගන්නම දවස් 4ක් 5ක් ගියා. ඒ වෙද්දි exam එකේ පෙරහැර ගිහින් ඉවරයි. ආසම modules ටික, අනා ගන්න පුලුවන් උපරිමම විදියට අනාගෙන. ඉතින් ඔය විදියට 1st class හීන බොඳ වුනා. සරල සාමන්‍ය කෙල්ලෙක් විදියට කියනවනම් මට ඔතනදි option 3ක් හම්බෙනව. එතනින් එහාට exam නොලිය ඉන්න එක එතනින් එක option එකක්. 'මං පැරදුනා' කියන එක හිස් මුදුනට ගත්තොත් මට මෙතනින් ඉස්සරහට යන්න ධෛර්යයක් නෑ, මට කරන්න බෑ, ඒ නිසා මං මෙතනින් degree එක නවත්තනව කියල හිතන එක අමාරු නෑ. ඒ මොහොතෙ සැනසීමක් ලැබෙන්නෙ ඒක කලොත් වගේ දැනුනම මිනිස්සු ඒ වගේ දෙවල් වලටත් යොමු වෙනව. ඒක ඒ විදියට කරපු අයත් මගෙ ජීවිතේ ඇති තරම් හම්බෙලා තියෙනව. දෙවෙනි option එක තමයි දිවිනසා ගැනීම. ඇයි හත්තිලව්වෙ පරම පිවිතුරු, ප්‍රථම ප්‍රේමය ඒ විදියට කඩාගෙන වැටුනම මං ඉඳල මොකටද? (මේව දැන් මෙහෙම ආතල් එකේ කිව්වට ඒ වෙලාවෙ ඒ හැඟීම දැනෙන විදිය වෙනස්. ඒත් ඒ හැඟීම් කාලෙත් එක්ක හරියනව කියල නොදැන ජීවිතෙන් වන්දි ගෙවන මිනිස්සු ඉන්න ලෝකෙක අපි ඉන්නෙ. අන්න ඒ නිසාම තමයි ඒ විදියට ලිව්වෙ ) ඔන්න ඔය මං කිව්ව option දෙකෙන්ම වෙන්න පුලුවන් එකම එක දෙයයි. මම මගේ ගමන නවත්තයි. අනිත් අය එයාලගෙ ගමන යයි. හැම අවුරුද්දකම වගේ degree එක දෙන දවස එයි. යාලුවො හැමෝම graduate වෙයි. Option 1 වලට ගියා නම්, යාලුවන්ගෙ graduation දවසෙ දැනෙන පසුතැවීමත් එක්ක මං විඳවයි. Option 2 වලට ගියා නම්, මාව මතක් කර කර මගෙ අම්ම විඳවයි. කීප දෙනෙක්ට විතරක් මාව මතක තියෙයි. 

මගෙ වාසනාවට මට option 3 එකක් තිබුන. කවදාවත් එකම එක semester එකකටවත් 4.0 GPA එකක් අරන් නැති මම, මටම අරමුණක් දුන්න 4th year එකේ 4.0 ගන්න. ඒ අරමුණට යන්න පාඩම් කරන්න කාපු කට්ට මේකෙ ලිව්වොත් ඔයාලට රුපියල් 100ක දුර three wheeler එකක යන්න වෙයි පෝස්ට් එක උඩටයි පහලටයි. ඒ නිසා ඒක වෙනම ලියන්නම්. අනිවාර්යයෙන්ම ලියන්නම්. 

අවසානයේ Option 3 සාර්ථක වුනා. නිකන්ම නෙමේ award එකකුත් එක්කම. Award එකක් හම්බෙන්න යනව කියල මම දැන ගත්තෙ යාලුවන්ගෙන්. එයාලට එවෙලෙ තිබුන සතුට, මගෙ අම්මගෙ සතුට, ඒ දෙකම මං ඇස් දෙකෙන් දැක්ක. ඒ සතුට දැක්කම දැනෙන ආත්ම තෘප්තිය ඔයාල දන්නවනම් කවදාවත් option 1,2 දෙකෙන් එකකට යන්නෙ නෑ. 

මිනිස්සු වැටෙනව. ඒත් නැගිට ගන්න බැරි වෙන්න වැටෙනව කියල එකක් මේ ලොකෙ නෑ. . අපිට පරාජයන් වලට කාටවත් බනින්න බෑ. මොකද ඒ පරාජයන් වලට හේතු වුන හැම කෙනෙක්ම, අපිම අපේ ජීවිතේට ලං කර ගත්තු අය. පැරදෙන්න පුලුවන්. ඒක වැරැද්දක් නෙමෙයි. පැරදුන තැනම ඉන්නවනම් ඒක වැරැද්දක්. ඔයා ඉන්නෙ පැරදුන තැනමනම් නැගිටින්න කාලෙ හරි. අපිව වට්ටපු අයට බැන බැන වැටිච්ච තැනම ඉන්නවට වඩා නැගිටල ආයෙ try කරල, ආයෙ ආයෙත් try කරල අරමුණට යන්න කාලෙ වැය කරන්න. ලෝකෙම ඔයා ගැන කතා නොකලත්, දවසක ඔයාට පසුතැවීමක් නැතුව මැරෙන්න පුලුවන්. 

C ගත්තා. C එක දැකල වැටුනෙ නැති නිසා අද අපේ ගෙදරට එද්දිම පේන්න තියෙන්නෙ award එක තියාගෙන ඉන්න දුවෙකුගෙයි, ආඩම්බරෙන් හිනා වෙන අම්මෙකුගෙයි photo එකක්. මං අනිත් option දෙකෙන් එකකට ගියා නම් අද එතන තියෙන්නෙ මල් මාලයක් දාපු මගෙ photo එකක්. වැටෙන්න ගිය මගෙ ජීවිතේ පසුතැවීමක සලකුණක්වත් හිටින්නෙ නැති වෙන්න මම ම ලිව්ව. ඔයාටත් අනිවාර්යයෙන්ම පුලුවන්. මොකද නැගිටින්න නම් වැටෙන්නම වෙනව. 

තාමත් හිතෙනවනම් බෑ කියල, ආයෙ මුල ඉඳන් කියවන්න.

මං පහලින් දාන photo එක තමයි ඔය කතාවෙ සාරාංශය. ඒක බලල කෙනෙක්ට මාව judge කරන්නත්, තව කෙනෙක්ට පාඩමක් ඉගෙන ගන්නත් පුලුවන්. 

-අශන්ෂණී- 



Comments

Post a Comment

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි