පොට්ට මලීගේ තියරිය

අශන්ෂණීගේ ජීවිතයේ තිබුනේ අවවාද, ආදර්ශ පිරුණ අභියෝගාත්මක කතා විතරමද? හනේ නැත. බ්ලොග් එක පුරාම මහත්මා ගාන්ධි වගේ ලොකු ටෝක් දුන්නද, අශන්ෂණී වනාහී ලොකු චරිතයක් නොවේ. එබැවින් වෙනසකටත් එක්ක මෝඩ කතාවක් ලිවීමට සිතුණි.

චික්! ලියන බාසාවෙන් පුලුවන් ද අප්ප මෝඩ කතා ලියන්න.මෙතැන් පටන් සරල බාසාවෙන් ලියන්නේ ඔබේ පමණක් නොව මගේද පහසුව තකා ය. 

ඉපදෙද්දි 'ෂ' යනු පිරිච්ච නමක් තිබුණත් ගොඩක් මිනිස්සු මගෙ නම කියල කතා කලේ නෑ. ඒ මට ආදරේ නිසාම නෙමෙයි. නම කියල ඉවර වෙද්දි දිව කෘන්තක දතට අහු වෙයි කියන බයට.ඉතින් ඕකට හරි අපූරු විසඳුමක් හොයා ගත්ත මගෙ පෙම්වතා / බෝයිෆ්‍රෙන්ඩ්/ අනාගත සහකරුවා/ වෙන්ඩ සැමියා.. ඔය මොකා හරි අන්න එයා ( ඉරි ගහල වෙන් කරල නම් ගොඩක් ලිව්වට එහෙම උන් ගොඩක් නැත. ඇත්තේ එකෙක් පමණි. නැත්තම්  ඉතින් ඕකත් මදැයි ) නම පිරෙන්න තිබුණ 'ෂ'යනු සේරම හිතක් පපුවක් නැතුව හලල දාල, 'මලී' කියල කතා කරන්න එයා තීරනය කලා. එහෙම තීරණය කලත් හරි, යාලුවො, යාලුවන්ගෙ දෙමව්පියො, යාලුවන්ගෙ ගෙවල් වල බල්ලො පූසො විතරක් නෙමේ, මාව අඳුරන නාඳුනන සියලූම හුදී ජනයා මට මලී කියල කතා කරන්න පටන් ගත්ත. ඒකට එතුමා හරි වේදනාවෙන් ඉන්නෙ, හැබැයි මෙතන කතාව ඒක නෙමේ. මේ කියන්න යන්නෙ, මලී 'පොට්ට මලී' වුන විදිය ( ඇස් නොපෙනෙන අයට අපහස කිරීමට මෙහි කිසිම අරමුණක් නැති බව කරුණාවෙන් සළකන්න ). 

 පොඩි කාලෙ ගෙම්බ පනින්න ගිහින් කඩා ගත්ත මගේ අසරණ නහය, පාසල් සමයේ basketball court එක මැද පතබෑවීමෙන් දෙවෙනි පාරටත් කැඩුන. එදා දොස්තර කිව්ව ආයෙ නාහෙ කඩා ගත්තොත් නම් හදන්න බෑ කියල. ඒ නිසා මොකක් හරි තරහකට මගෙ නහය කඩන්න හිතන් ඉන්නව නම් ඒ ආසාව අතාරින්න. ඔහොම ඔහොම ඉන්නකොට මට නිකන් තේරෙන්න ගත්ත දුර පේන්නෙ නෑ, නෑ වගේ.මට දුර පේන්නෙ නෑ කියන එක මගෙ සමහර තෝරා ගැනීම් දැක්කම මගෙ යාලුවො 2012 ඉඳන්ම කිව්ව. මං කියන්නෙ ඒ දුර ගැන නෙමෙයි. සංසලායි, ධනුකයි අතින් අල්ලගෙන බොඳ මීදුම් නාට්ටියෙ රඟපාන කාලෙ මට පාර මැද්දෙ පෙනුනෙත් බොඳ මීදුම්. ඉතින් මන් තීරණය කලා කණ්ණාඩි දාන්න. කණ්ණාඩි දාන්න හිතුවට වැඩේ හරියන්නෙ නෑ. නහය කැඩිච්ච තැනටම කණ්ණාඩිය සෙට් වෙනව. පැයක් දෙකක් දාගෙන ඉද්දි තරු පේනව. ඒ විතරක් නම් මදැයි. එක ඇහැකින් කණ්ණාඩියෙන් පේන එක බලන ගමන්, අනිත් ඇහෙන් කණ්ණාඩියට යටින් ඕපදූප බලනව. ඇස් දෙකෙන් තැන් දෙකක් බලාගෙන එක කකුලක් පකිස්තානෙටයි, අනිත් කකුල සෝමාලියාවටයි තියල, වැටිල, හොම්බ ඇනගෙන තව කොහෙ හරි තුවාල කර ගන්නව. උණු කෑම එකක් මලාටවත් කන්න බෑ කණ්ණාඩි දෙක වැස්ස දවසට වාහනේ windscreen එක වගේ වෙනව. ඒක පිහදාන්නයි, කන්නයි වැඩ දෙකයි. ඉතින් මං තීරණය කලා කණ්ණාඩි නොදා ඉන්න. දුර තියෙන එකක් බලන්න ඕනෙ වුනාම ලඟට ගිහින් බලනව, ලෙක්චර්ස් වල ඉස්සරහ විතරක් වාඩි වෙනව. සරලයි, පහසුයි. 

මං කියන්නෙ ඇස් පේන්නෙ නැති අයට කණ්ණාඩි නොදා ඉන්න කියල නෙමේ. ඒක ඇත්තටම නොකල යුතු දෙයක්. ඒත් හැම ප්‍රශ්ණෙටම තමන්ගෙ විදියට උත්තරයක් හොයා ගන්න. හැමෝටම හරි ගිය උත්තරේ ඔයාට හරියන්නෙ නැති වෙන්න පුලුවන්. තමගෙ ක්‍රමේට ජීවත් වෙන්න බය වෙන්න එපා. නිව්ටන් හිටපු ගහ යට ඔයා හරි, මම හරි හිටියනම්, ඇපල් ගහ හිටවපු එකාටත් බැනල, ඇපල් ගෙඩිය විසි කරල නිදා ගනියි. ඒත් නිව්ටන් වෙනස් විදියට හිතල අලුත් තියරියක් හොයා ගත්ත. අද ඒ නම නොදන්න කෙනෙක් නෑ. නිකමෙක් විදියට ඉපදෙන්න පුලුවන්. ඒත් නිකමෙක් විදියට මැරෙනවනම් ඒක සිස්ටම් එකේ අව්ලක් නෙමේ ඔයාගෙ අව්ලක්. මතක තියා ගන්න, පරදින්න බය වුන තැන, වෙනස් වෙන්න බය වුන තැන, අවදානම් ගන්න බය වුන තැන කවදාවත් අලුත් දේවල් බිහි වුනේ නෑ. ඔයා ඔයාම වෙන්න. මොකද, ඔයා හිතන විදියට කාටවත් හිතන්න බෑ. 


- අශන්ෂණී - 

Comments

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි