මං පොත්ගුල්ලෙක් ද? අපතයෙක් ද?

මා දිනපතා ඇසුරු කරන මානව කොට්ඨාස ගණනාවක් ඇත. ඒ එක් එක් කොට්ඨාස වල අය මා ගැන දන්නා දෑ පරස්පර විරෝධී ය. එක් කොට්ඨාසයකට මා මහා අපතයෙකු වන විට තවත් කොට්ඨාසයකට කණට ඇහෙන්න කතා කරන්න දන්නෙ නැති පොත් ගුල්ලෙකි. අයෙක් මගේ කටින් වචනයක් ගැනීමට වෙර දරන විට, තවත් අයෙක් දෙයියන්ගෙ නාමෙන් තප්පර දෙකකටවත් මගේ කට වසා තැබීමට ක්‍රමයක් සොයයි. 

මා පොත් ගුල්ලෙක් හා අපතයෙක් යන නම් දෙකෙන්ම හැඳින්වීම වැරදි නැත. එය ඔබට මද වේලාවකින් කතාව අවසානයේ පසක් වනු ඇත. ඉතින් කුඩා කළ පටන් අධ්‍යාපනය කෙරෙහි මා තුළ තිබූ උනන්දුව සහ එහි විකාශනය ගැන මෙසේ සටහන් කරමි.

සුද්දාගේ භාශාව ඉගෙන ගැනීමට මට කුඩා කල පටන් තිබී ඇත්තේ සුලු පටු ඇම්මක් නම් නොවේ. 'ඉ' යන්නෙන් 'ඉදල' කියා කියවිය යුතු වයසේ පටන් කියා ඇත්තේ 'ඉංග්‍රීසි පංති යන්න ඕනෙ කියා ය. යන්තම් වයස අවුරුදු එකක හෝ දෙකක වයසේ පසු වූ මට එතරම් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවශ්‍ය වූයේ පෙර භවයකින් ආ මෙව්වා එකකින් නම් නොවේ. සතියකට වරක් නිවසේ රඟ දැක්වුනු මහා ඉංග්‍රීසි නාඩගම නිසාවෙනි. 

නාඩගමේ ප්‍රධාන නළුවා ලෙස රඟ දැක්වූයේ අයියාය. හරියටම බදාදා සවස 4.20ට පමණ මෙම නාඩගම ආරම්භ කිරීම සඳහා අයියා මුහුණ කට සෝදා 'අනේ අද මට පංති යන්න බෑ බෑ බෑමයි.....' කියාගෙන වේදිකාවට ප්‍රවිශ්ට වෙයි. මනා තාත්වික රංගනයක් පෙන්වීම උදෙසා එක අතකින් කොට්ටය අල්ලාගෙන..හපාගෙන, අනිත් අතින් ඇඳ පොල්ලේ එල්ලී විලාප තියයි. අපේ අම්මාද ගේමට බැස තිබේ. 

'හරි ඉතින් ඔයා යන්න ඕනෙ නෑනෙ. සර් මෙහෙට එනවනෙ. ඔයාට තියෙන්නෙ අර මේසෙ ලඟින් වාඩි වෙන්න'

'එහෙම බෑ... ඒ සර්ගෙ ඇස් ලොකුයි මට බෑ පංති යන්න'

ඒකට නම් අම්මා ලඟ උත්තර නැත. 'සර් අපේ එකාට උගන්නද්දි ඌ දිහා ඇස් පොඩි කරල බලන්න' කියන්න යෑ?

ටික වෙලාවකින් සර්ගේ මෝටර් රථයේ හඬ ඇසේ.

'අන්න අරූ එනව... අනේ මට බෑ....' රංගධරයා මර හඬ දිදී වැලපෙයි. 

පොඩි කමට මටත් ඉන්නට බැරිය. 

'ඉතින් අම්මෙ අරූට කියන්නකො මට උගන්නන්න කියල. මෙයා බෑ කියල අඬනවනෙ' 

හැමදාම බදාදට 'අරූ එනව.. අරූ එනව' කියමින් අප මහා රංගධරයා හඬා වැටෙන නිසාවෙන් මා එතෙක් කල් සිතා සිටියේ සර්ගේ නම 'අරූ' කියාය.  

සර් ආවට පලක් නැත. ගෝලයා නැත. නිවැසියන් විසින් කෙසේ හෝ ගෝලයාව එළියට අරන් දෙන තුරු  සර් බලා සිටින්නේ වෙඩින් එක දවසෙ උදේ මනමාලි පැනල ගිය නිසා ආතභූත වූ මනමාලයෙක් මෙනි.  

මෙවන් රංගන කුසලතා සෑම සතියකම නරඹන මට, ඉංග්‍රීසි ඉගෙනීමට ඇති වූයේ හෙන කුතුහලයකි. මම ඔලුවෙන් හිටගෙන කිව්වත්, අවුරුදු දෙකක පමණ ඇටකිච්චෙක් ඉංග්‍රීසි පංති දැමීමට තරම් මගේ දෙමව්පියන්ට මොලේ අමාරුවක් තිබ්බේ නැත. එකම විකල්පය වූයේ මට පොතක් හා පැන්සලක් ලබා දීමයි.

එයින් මහා උද්දාමයකට පත් වූ මා දිනපතා කලේ පොතේ පිටු පිරෙන්නම ඉංග්‍රීසි 'එෆ්' අකුර ලිවීමයි. මොකෝ මේ එෆ්? ඒ කතාව මෙසේය. මුලු ඉංග්‍රීසි හෝඩියටම පොශ් අකුරක් ලෙස මට පෙණුනේ එෆ් අකුර පමණි. එබැවින් අනෙකුත් අකුරු වලට මගෙන් ලැබුනේ කුඩම්මාගේ සැලකිලිය. 
ඔහොම යන විට දිනක් මගේ ඉංග්‍රීසි පොත අයියා අතට අසු විය. 

'මේ මොකෝ මේ? එෆ් අකුර විතරද මනුස්සයො දන්නෙ? කෝ පැන්සල අරන් එන්න තව අකුරක් උගන්නන්න.' ඔහු කීවේය.

මගේ ඉංග්‍රීසි පංති සිහිනය සැබෑ වන බවක් පෙනේ. මට ඉගැන්වීමට ගුරුවරයෙක් බාර ගෙන ඇත. දිව ගොස් පැන්සල ගෙනැවිත් ඔහු අතට දුන්නෙමි. 

'බකට්', 'බාස්කට්' වචන දෙක පොතේ වම් පැත්තෙන් ලියා,දකුණු පැත්තෙන් බාල්දියක් හා කූඩයක් ඇන්ද ඔහු පුටුවෙන් නැගිට්ටේය. 'පැය දෙකක් දෙන්නම් මේ දෙකේ ස්පෙලිංග්ස් පාඩම් කරනව.' කියූ ඔහු යන්නට ගියේය. 

ස්පෙලිංග්ස් ඇසීමට පැයක් දෙකකින් ගුරුතුමා නොපැමිණි නිසා, රාත්‍රී ආහාර ගැනීමෙන් පසු ගුරුතුමා සොයා ගියෙමි. ස්පෙලිංග්ස් වැඩේ ගොඩ ය.ගුරුතුමාටත් සතුටුය. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් නොවීය. 
අම්මාගේ මල් කූඩයට අත දිගු කල ඔහු 'ඒ මොකක්ද' කියා ඇසීය. 
'බකට්' ගත් කටටම කීවෙමි. 
පොතෙන්ම ඔලුවට ගැසූ ගුරා මා හැර ගියේය. අපේ අම්මා කූඩයක නැතුව බාල්දියක මල් දැම්මා නම් මට ගුරා අහිමි වන්නේ නැත.

ඔන්න දැන් වයස අවුරුදු 3ක් 4ක් පමණ වන කාලය එළඹිනි. ඉංග්‍රීසි උණ නම් එන්න එන්නම දරුණුය. 

ටී.. එච්...ඒ..එන්..කේ.. වයි.. ඕ.. යූ... තැන්ක් යූ....ඩබ්ලිව්... ඊ..එල්... සී..ඕ... එම්... ඊ.... වෙල්කම්.... ස්පෙලිංග්ස් කියමින් උඩ පැන පැන පාරේ ගමන් කරයි... 

ඔය යන අතරතුර වැරදිලාවත් ස්පෙලිංග්ස් වැරදුනොත් විනාස ය. ඒ වචනය කීමට ආරම්භ කල තැනට නැවත ගොස් ආයෙත් මුල සිට උඩ පැන පැන එයි. 

මා කතාව ආරම්භයේම 'විකාශනය' යන වචනය භාවිත කලේ හේතුවක් ඇතුවය. කෙමෙන් කෙමෙන් මා ද අයියා ඉංග්‍රීසි පංති ප්‍රතික්ශේප කළ වයසට එළඹුනෙමි. කරුමෙක මහත! මාව සිංහල පංති යැවීමට අම්මා සූදානම් විය. මා එකළ රැඳී සිටියේ ත්‍රිකුණාමලය නගරයේ වූ බැවින් ගුරුවරයෙක් සෙවීම පහසු වූයේ නැත. පංති යාමටත් බැරිය. හැබැයි අයියා මෙන් හත් පොලේ ගා ගත්තේ ද නැත. 

'අනේ මං ඒ සර් ට ආස නෑ.. ඔයාට විතරයි මාව බේර ගන්න පුලුවන්...'  නංගිව සටන සඳහා මෝටිවේට් කළෙමි. 

සර් නිවසට ඒමට කකුල පෙරට තැබුවා පමණි. 

'අනේ... අපේ අක්කව අතාරින්න..' නංගි කෑ ගැසුවාය. 

වයස අවුරුදු 22ක් 23ක් වූ සිංහල සර්ට හීන් දාඩිය දැම්මේය. අම්මා ඇවිත් නංගීව උස්සන් ගියද ඒ සර් පැමිණි අවසන් දිනය විය.  

මෙවන් කතා නම් කෝටියක් ඇත. වචනයක් හෝ ඉගැන්වූ සැමට පිං සිදු වන්නට මම අද මෙතන ඇත. සමහරු විශය කරුණු ඉගැන්වූ අතර සමහරු ඉගැන්වූයේ ජීවිත පාඩම් ය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, අදත් හෙටත් ඉගෙන ගැනීමට සිදුව ඇත. මුලු ජීවිතයම රේස් එකක් වී ඇත. උනන්දුව නැති සමහරු මග වැටෙති. වැටුනාට කමක් නැත, නමුත් වැටුනු තැනම සිටීම කමක් නැත්තේ නැත. නැගිට දිවිය යුතුව ඇත. එය ඔබටත් මටත් පොදු ය.
මේ ගමන් මගේ ඔබ මා කෙසේ දැක්කත්, මුලින් සඳහන් කළ චරිත දෙකම මා තුළ ඇත. ඔබ මා තුළ දකින්නේ ඔබ මා තුළින් සොයන චරිතය පමණි. එබැවින්,  ඔබ මා දකින්නේ කෙසේද යැයි තීරණය ඔබට බාර ය. 

- අශන්ෂණී - 





Comments

  1. Moreover, to ensure you|to make sure you} by no means find yourself in a troublesome spot utilizing a|with no} clue what to do, there shall be a assist tab inside each game you play. Depending on your preferences, the common types of mobile blackjack inside our high mobile casinos embrace - Atlantic City, European, Vegas Strip, Classic, Multi-player, Single Deck, and Live Dealer. Naturally, in case you have a pill then you won't 카지노 사이트 have to do that, however bear in mind that might have|you might have|you might have} to hit the unlock button that you simply can|so as to|to be able to} switch from portrait to panorama {in order to|so as to|to be able to} play. The other major difference between taking part in} real money roulette on-line and mobile roulette is that you won't see both the wheel and the table at the identical time. Every pill and smartphone casino app presents a click-and-play service.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි