සිස්සත්තෙ

පහුගිය දවස් වල පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත් උනත් එක්කම එක එක කතන්දර අහන්න හම්බුනා. ඒ කතා වල හැටියට සිස්සත්තෙ පාස් උන හැමෝම ජීවිතේ දිනලත් නෑ. ෆේල් උන හැමෝම ජීවිතේ පැරදිලත් නෑ. ඉතින් මට හිතුණ මගෙ කතාවත් කියන්න.

අශන්ෂණී සිස්සත්තෙ එහෙමත් නැත්තම්, පහ වසර සිසුන්ගේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩයිම් විභාගෙට මූණ දුන්නෙ 2005 අවුරුද්දෙ. දැන් මොන්ගල් ගති ලක්ශණ පෙන්නුම් කලාට, මං ඒ කාලෙ ඉගෙනීමට ලැදි, රටට හිතැති ළමයෙක්.

ඉතින් ඔය සිස්සත්තෙට පංති පටන් ගන්න කාලෙ වෙද්දි තමා මගෙ නංගි ඉපදුනෙ. නංගි ඉපදුන ගමන් ටික කාලෙකට මම අම්මගෙ ග්‍රහණයෙන් මිදුන. තාත්තත් රාජකාරි වැඩ එක්ක ගෙදර හිටපු නැති නිසා, ඔය කාල වකවාණුවෙ මට පුලුවන් වුනා සාර්ථක විදියට අපතයෙක් බවට පරිවර්තනය වෙන්න.  

'කම්මැලිකම' කියන කන්සෙප්ට් එක මම තදින්ම හිතට ගත්තෙ ඔය කාලෙ. ඒකෙ පළවෙනි පියවර විදියට මම කලේ පහ වසර පළවෙනි වාර විභාගෙ ගණන් පේපර් එකේ අන්තිම පිටුවෙ කිසිම ගාණක් හදන්නෙ නැතුව හිටපු එක. ටෙස්ට් රන් එකට තෝර ගත්තෙ ගණන් පේපර් එක විතරයි. ඔක්කොම පේපර් ටිකට ඒ වැඩේ කරල අවදානමක් ගන්න බෑනෙ. ඔන්න ඉතින් ලකුණු ආව. 81ක් තියෙනව අව්ලක් නෑනෙ. ඉතින් හිතා ගත්ත පරිසරය පේපර් එකටයි, සිංහල පේපර් එකටයි ඔය වැඩේ කරන්න ඕනෙ කියල. හැබැයි සහෝදරවරුනි ඒ පාර නම් වැඩේ නෝන්ඩි වුනා. ටීචර් කතා කලා ළඟට. 

' මොකෝ පුතේ මේ වේගෙන එන්නෙ? රෑන්ක් එකකට යන්න පුලුවන් දරුවෙක් නේද?'

ඔලුව කස කස දුන්න උත්තරයක්.

'ටීච, අම්ම කිව්ව සිස්සත්තෙ පාස් වෙන්න එපා කියල.'

වැඩේ පත්තු වුනා සහෝදරවරුනි! ටීචර් කෝල් කලානෙ අම්මට. 

ඒ වෙලාවෙ අම්ම දීපු උත්තරේ සරලවම කිව්වෙ, ඉස්කෝලෙ වැඩ වල ප්‍රශ්න තියෙනව්නම් දෙන්න ටීචර් හොඳවයින් දෙකක්.ශිෂ්‍යත්වෙට කියල නම් ස්ට්‍රෙස් කරවන්න එපා. ඕක පාස් වුනත් ඉස්කෝලෙ මාරු කරන්න අදහසක් නෑ. ඒ නිසා ඇත්තටම අපි තමයි එයාට කිව්වෙ ශිෂ්‍යත්වෙ පාස් වෙන්න ඕනෙ නෑ කියන එක කියල. 

හැබැයි ටීචර් අර කිව්ව 'රෑන්ක් එකකට යන්න ඉන්න ළමයෙක් ෆේල් වෙන්න යන්නෙ' කතාව අම්මගෙ ඔලුවට වැදුන.එහෙම වුනාට ඒ ප්‍රෙශර් එක මගෙ පිට දැම්මෙ නෑ. ඔහොම ඔහොම යද්දි දවසක් අම්ම මට ළඟට කතා කරල ඇහුව ශිෂ්‍යත්වෙ පාස් වුනොත් මොනාද ඕනෙ කියල.

'කට්ලට් එකක්' අහපු පරක්කුවට දුන්න උත්තර.

'හෑ??කට්ලට් එකක්?' වගේ ලුක් එකක් තමයි අම්ම දුන්නෙ. දැන් අම්මටත් ශුවර් නෑ මං කට්ලට් කියන්නෙ සාමාන්‍ය මිනිස්සු කට්ලට් කියන එකටමද කියල. ඇ‍යි හත්තිලව්වෙ කට්ලට් එකක් කන්න විභාග පාස් වෙන්න ඕනෙ යැ. ඒ වුනාට මේ ළමය කියන්නෙ අර අල, ළුෑණු, එව්ව මෙව්ව දාල ගුලි කරල බැදල කන කෑම එක ගැනම තමයි. අනුකම්පා හිතිල එදාම කට්ලට් ගෙනත් දුන්න. 

එහෙම සටන පාවල දෙනවද අපි? තෑග්ග දැන්ම ගත්තම සිස්සත්තෙ පාස් වෙන්නම එපැයි. අපි අහු වෙයි ඔව්වට. 

එහෙම හිතල අතවත් තිබ්බෙ නෑ කට්ලට් වලට. 

ඔහොම ගිහින් සිස්සත්තෙ ලිව්ව.සිස්සත්ත කතාව එහෙම්මම යට ගියා. 

ටික කාලෙකට පස්සෙ ඉස්කෝලෙ ප්‍රාථමික අංශෙ ශිෂ්‍ය නායකයෙක් නිල ලාංඡන පළඳවන දවස ආව. ඔන්න ඉතින් අපේ මැඩම් ප්‍රින්සිපල් නිළ ලාංඡන පළඳල ඉවර වෙලා එහෙම කතාවක් කරන්න ස්ටේජ් එකට නැග්ග.

'අද මේ අම්මල තාත්තලට හරි සතුටු දවසක්. දරුවො ශිෂ්‍ය නායකයො වෙන දවසෙම ශිෂ්‍යත්ව ප්‍රතිපළ නිකුත් වෙනව. සතුටු වෙන්න කාරණා දෙකයි'

හුටා ඔය කොර ගත්තෙ. දැන් ඉතින් මං ෆේල් වෙලා නම් අම්මට ටීචර්ගෙ මූණ බලන්න බෑනෙ. පෙර පින් බලයකින්ද කොහෙද සිස්සත්තෙ පාස් වෙලා තිබ්බ. ඔයින් ගියා මදැයි. 

හැබැයි පොරොන්දුව නම් කඩ වුනා. කට්ලට් එකක් වෙනුවට ලැප්ටොප් එකක් තමයි හම්බුනේ. එව්ව කොහෙද ඩීල් නම් ඩීල්. කට්ලට් එක හම්බෙනකල් ලැප්ටොප් එකට අතක්වත් තිබ්බෙ නෑ සහෝදර වරුනි. 

මේ ලඟදි සිකුරු හතේ චිත්‍රපටිය බලද්දි ඒකෙ මංගලජය කපු මහත්තය ත්‍රීවීලර් ඩ්‍රයිවර් කෙනෙක්ට කියනව 'රුපියල් 200ට සතයක් අඩු කරන්නෙ නෑ මල්ලි' කියල. ඔය දෙබස ඇහෙද්දි මට හක හක ගාල හිනා යනව. පිස්සුද මන්ද මේ කපුවට. අර මනුස්සය කියද්දි රුපියල් සීයක් ඇති කියල, මේ මිනිහ බලෙන් වැඩියෙන් සල්ලි දෙන්න අහන්නෙ! තප්පර දෙක තුනකින් මට මතක් වුනේ මාත් ඒ වගේම හරකෙක් නේද දෙයියනේ කියල.  

මං ලැප්ටොප් එකක් වෙනුවට කට්ලට් එකක් ඉල්ලුව කියල දන්නවනම්, IT කම්පැණියක දොරෙන් ඇතුලට ගන්න එකක් නෑ මාව. 

එහෙම බලද්දි බීල වැනි වැනි ගිය මංගලජයගෙයි, සිස්සත්තෙ ලියපු මගෙයි කිසි වෙනසක් නෑ නේද? එදා මට අරමුණක් තිබුනෙ නෑ business analyst කෙනෙක් වෙන්න. අඩු ගානෙ ඒ රස්සාවෙ නමවත් දැනගෙන හිටියෙ නෑ. අද වෙනකල් ගිය කිසිම ඉන්ටර්විව් එකක සිස්සත්තෙ පාස් ද කියල කවුරුත් මගෙන් අහල නෑ. ඒක පාස් වුනා කියල කිසිම අමතර වටිනාකමක් මගෙ ජීවිතේට එකතු වෙලත් නෑ. 

ඒ විභාගය නරක සංකල්පයක් කියල මම කියන්නෙ නෑ. දුශ්කර පළාත් වල පාසල් වල ළමයිට 'හොඳ' කියල අපි කියා ගන්න පාසල් වලට එන්න ඒක උදව්වක් වෙන්න පුලුවන්. හැබැයි වෙන්න ඕනෙ ළමයි ටික මරවල සිස්සත්තෙ ලියවල කොළඹ එන එක නෙමෙයි. තමන්ගෙ පළාතෙ පාසල් සංවර්ධනය කර ගන්න වැඩ කරන එක. මං මේක කිව්වෙ කොළඹ පාසලකට ගිය ළමයෙක් විදියට තව ළමයෙක් එතන ඉගෙන ගන්න එනවට කිසිම කුහක කමක් හිතේ තියා ගෙන නෙමෙයි. අහල පහල මිනිස්සු සතුටු කරන්න අවුරුදු 10ක ළමයෙක්ට මහා බරක් ඔලුවට පටවන්න කලින් දෙපාරක් හිතන්න. මොකද අවුරුදු 5ද, 10 ද, 50ද කියල නෑ, ඒකත් ජීවිතයක්.



-අශන්ෂණී-

Comments

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි