කැතයි කියල මරන්නද?
මනුස්සයෙක් අවවාදයක්, උපදේශයක්, කතාවක් කියන්න තරම් පරිණත වෙන්න නම් හොම්බෙන් යන්නම ඕනෙ. මොකද, film බලල, අනුන්ගෙ කතා අහල දෙන උපදෙස් වලට වඩා පරණ මතක එක්ක මුහු වෙලා හදවතින්ම (සමහරුන්ගෙ එන්නෙ හදවතෙන්, සමහරුන්ගෙ බොක්කෙන්, තවත් සමහරුන්ගෙ වෙන කොහෙන් හරි වෙන්නත් පුලුවන්) එන වචන වල validity එක වැඩි.
මෙන්න මේ කතාවත් උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කොමිසම හා එක්ව ඔබ වෙත ගෙන එන උපමා කතාවක්. මට මේ උපමා කතාව මතක් වෙන්නෙ කතානායක පහුගිය කාලෙ මට කතා කරල මේ කතාව මතක් කරල දීපු නිසා (අයියෝ අර පාර්ලිමේන්තුවෙ කතානායක නෙමේ. ඒ මනුස්සය මට අබ මල් රේණුවක වරදක් කරල නෑ)
'කැත'.. කැත කියන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත වලට හරි ප්‍රභල විදියට බලපෑම් එල්ල කරන හරිම කැත දෙයක්. මට කියල වෙනසක් නෑ. මොකද මම ඉතින් මම කුස රජ්ජුරුවන්ගෙ පබාවතී කුමාරි ඈ.
මං කිව්ව අර කතානායක තුමා ඒ කතා කරපු වෙලාවෙ මට මතක් කරල දුන්න එතුමා මාව හැර ගිය බව (විශේෂණ පද ඇතිව මහත් ආඩම්බරයෙන්). අන්න ඒ වෙලාවෙ තමා මට මතක් වුනේ එතුමා මාව හැර ගිය හේතුව.මං මේ කතාව කියන්නෙ කෙල්ල දාල ගියා, කොල්ල දාල ගියා කියල හොටු පෙරාගෙන අඬන සුවහසක් ශ්‍රී ලාංකික හුදී ජනතාවට ( ශ්‍රී ලාංකික? ඔව් ඉතින් සිංහලෙන් නෙ ලිව්වෙ ) දෙයියන්ගෙ නාමෙට හොටු පෙර පෙර සිංදු ලියන්නෙ,කියන්නෙ නැතුව, මේ වගේ එකක් බලල හිත හදා ගන්න. උඹල නම් ලියයි. අපි එපැයි බස් වල ඔව්ව අහන් යන්න.
වැඩිය ඇඩ් දාන්නෙ නැතුව කියන්වනම් මගේ ප්‍රථම ප්‍රේම වෘතාන්තයට හරස් උනේ 'කැත'. අවුරුදු හයකට පස්සෙ එතුමාට මතක් උනා හනේ දෙයියනේ මගෙ කෙල්ල කැතයි නේද? මං දැන් දාල යන්න ඕනෙ නේද කියල. ඉතින් එයා ගියා (දැන් ඉතින් කාලගෝල වගේ එකෙක් හිතින් මවා ගන්න එපා. මං ලඟදි ප්ලාස්ටික් surgery එකක් කලේ නෑ. එතකොටත් මේ වගේම තමා).
ඇත්තටම කියනවනම් ලස්සන හරිම සාපේක්ෂ දෙයක්. සමහර මිනිස්සුන්ට සමහර දේවල් ලස්සනට පෙනෙද්දි සමහරුන්ට ඒව කැතට පේනව. නිකමට මගෙ කොන්ඩෙ දිහා බලන්න. සමහර අය දන්නෙවත් නැති වුනාට මට කාලයක් තිබුණ පතරංග කේශ කලාපයක්. ඔන්න ඔය කොන්ඩෙට හිටිය අසූකෙල කෝටියක් ලෝලීන්. හැබැයි මං ඒ කොන්ඩෙට කැමතිම නෑ. මං අනිත් අය සතුටු කරන්න හිතාගෙන ඒක කපන්නෙ නැතුව හිටිය. මං මගෙ හිනාවට ආසයි. මගෙ දත් ගැන, මගෙ හිනාවෙ කැත ලස්සන ගැන මට කිසිම ප්‍රශ්නයක් තිබුනෙ නෑ. හැබැයි අනිත් අය සතුටු කරන්න මං වෙනස් වෙන්න උත්සහ කළා. ඒත් ඒ ගමනෙ හති වැටුන දවසක් ආව. මාව වෙනස් කරන්න උත්සහ කරපු කෙනා මගෙ පාරෙන් අයින් වුන දවස. එදා මං වහ බිව්වෙ නෑ, එල්ලිල මැරුනෙත් නෑ, කෝච්චියට පැන්නෙත් නෑ. මොකද, ඒ මගෙ ජීවිතේ අලුත් ආරම්භයක් කියල මං දැනන් හිටිය. මං ආපස්සට හැරිල බැලුව. එදා මගෙ ජීවිතේ පළවෙනි දවස කියල හිතාගෙන අලුතෙන්ම පටන් ගත්ත. දැන් මේ සිදුවීම වෙල අවුරුදු දෙකයි මාස දෙකක්. ඒ මතක දැන් විහිලුවක් විතරයි. විශ්වාස කරන්න එහෙම දවසක් එනව. වැදගත් වෙන්නෙ, ඒ දවස එනකල් ජීවත් වෙන එකයි.දාල ගිය අය, රිද්දපු අය, ඔයාව වෙනස් කරන්න හදපු අය ඔයා දිහා හොරෙන් බලල, එයාල ලඟ ඉන්න අයව ඔයා වගේ කර ගන්න හදන දවසක්, ඔයාගෙ දියුණුවට ඊරිසියා කරන දවසක්, කතා කරල පරණ තුවාල තාම රිදෙනවද බලන දවසක් එනව. ඒ දවසට හිනා වෙලා මූණ දෙන්න අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න. තමන් ජීවත් වෙන්න ඕනෙ කියල හිතල, ආත්ම අභිමානයක් ගොඩ නගාගෙන, තමන්ටම කියල හීන හදාගෙන ආයෙත් හුස්ම ගන්න පටන් ගන්නකොට හරි ලස්සනයි.
කැත කියල දෙයක් නෑ. දෙයක් ලස්සනට පේන්නෙත්, කැතට පේන්නෙත් අපේ ආකල්ප එක්ක. වැදගත් වෙන්නෙ අන්න ඒක. ලස්සන ආකල්ප එක්ක බර හුස්මක් අරන් හෙට ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්න.
මොකද ඔයා ලස්සන, වටින මනුස්සයෙක්. ඔයා වගේ ඉන්නෙ ඔයා විතරයි.
- අශන්ෂණී-

✌️✌️✌️✌️❤
ReplyDeleteThank you ❤
Delete