වෙලාව අවුල්

අද කියන්න යන්නෙ මට අවුරුදු 5ක් වයස කාලෙ වුන සිද්ධියක්. හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා කියලම පටන් ගන්නම්. 

මේක ඇත්තටම මම ගිය මගුල් ගෙයක් ගැන කතාවක්. ඒකෙ flower girls දෙන්නෙක් හිටිය. මාත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්. ඒ තමා මන් flower girl කෙනෙක් වුන පලවෙනි වතාව. 

මේ වෙඩින් එක ඇත්තටම මගෙ තාත්තගෙ මල්ලි ගෙ. ඒ කියන්නෙ මගෙ බාප්පගෙ.එයා යුධ හමුදාවෙ කෙනෙක් නිසා ඒ ඇඳුම් තමා වෙඩින් එකටත් ඇන්දෙ.  වෙඩින් එකට සති ගාණකට කලින් ඉඳලම මාව නිතර නිතර bridal and groom's crew එකේ අයට මුණ ගැස්සුව. එයාලට විශ්වාසයක් තිබ්බෙ නෑ මං ඒ strange මිනිස්සු එක්ක පොටෝ වල ඉන්න බෑ කියල අඬයිද කියල.මොකද ඉතින් කවදාවත් දැකලත් නැති, කඩු කිණිසි ඉනේ ගහගත්ත (නිල ඇඳුම නිසා) මිනිස්සු එක්ක පොටෝ ගන්න මම මද්දුම බණ්ඩාර ඈ. 

ඔන්න දැන් ඔහොම ඔහොම ගිහින් වෙඩින් එක දවස ආව. Brideට එක කෙනෙකුයි, bride's crew එකට තව කෙනෙකුයි විදියට dressersල දෙන්නෙක්ටත් එන්න කියල තිබුණ. මම ඉතින් පාන්දර පහේ ඉඳන්ම ලස්සන ගවුමත් ඇඳගෙන හෙන චිල් එකේ ඉන්නව. සෑහෙන excited  ඉතින් කවද කාපු ටකරං ද. ඔන්න දැන් ඔහොම ගිහින් නැකත් වෙලාවත් ඔන්න මෙන්න. සේරම ඇඳගෙන ඉවරයි එක්කෙනෙක් ඇරෙන්න. මනමාලි සාරිය කරේ එල්ලගෙන අඬ අඬ ඉන්නව. අන්දන ඩයල් එක ඇවිත් නෑ. එයා එකම වෙලාවෙ වෙඩින් දෙකක් බාරගෙන. අනිත් එක්කෙනාට වෙලාවට අන්දල ඉවර කරන්න බැරි වෙලා නිසා phone off කරල දාල නිකන් ඉඳල. මට එහෙම ඔහොම උනා නම් ප්‍රෙශර් වැඩි වෙලා මැරෙන්නෙ ආයුබෝවන්ඩ. ඉතින් අපිට අන්දපු කෙනාම මනමාලිටත් අන්දල දැම්ම. මනමාලිගෙ මූන අඬල අඬලම ඉදිමිලා. එලියට බහින්න යද්දි තමයි දැක්කෙ අනිත් flower girlගෙ කරාබු දෙක දාල නෑ කියල. ඉතින් එක්කෙනෙක් කලබලේට දුවල ගිහින්  කරාබු දෙක අරන් ඇවිත් ඒ අනිත් ගෑණු ළමයට දානව. මාත් ඉතින් ළඟට වෙලා බලන් ඉන්නව. කෙල්ලගෙ ඇස් දෙකෙන් කඳුලු පෙරෙනව. මං හිතුවෙ මනමාලි අඬන නිසා ණයට අඬනව කියල. හත්තිලව්වේ බලද්දි කෙල්ලගෙ කනේ හිලට නෙමේ කරාබුව දාල තියෙන්නෙ. කරාබුව කනේ නිකන් තැනකට තියල තද කරල එතන හිලකුත් විදිල ලේත් එනව. හරි දැන් ටූ ඩවුන්. මනමාලිත් අඬනව, flower girl කෙනෙකුත් අඬනව. 

මනමාලිට කලින් අපිව එක්කගෙන ගියා හොටෙල් එකට. එතන හිටිය අපේ නැන්දගෙ පුතා. මිනිහ මට වඩා අවුරුද්දක් බාලයි. මට පොඩි කාලෙ ඩයල් එකව පේන්න බෑ හෙන වලි.උගෙ හොම්බට දෙකක් අනින්න දෙනව කියල කවුරු හරි පොරොන්දු වුනොත්  මම කරවිල, මැල්ලුම් හරි කන්න එකඟ වෙනව (එව්ව මං සාමාන්‍ය ජීවිතයේ නොකන කෑම). දැන් හෝටලේ මැද්දෙ ලොකු කේක් එකක් පේනව. අරූගෙයි මගෙයි දෙන්නගෙම දැන් ඇස් තියෙන්නෙ ඒ පැත්තට. ඩයල් එක ශේප් එකේ මගෙ ලඟට ආව. 

'අක්කෙ, අර කේක් එක කාල බලමුද?' 

මමත් එක පයින් හා කිව්ව. වැඩේ ඉන්ටෙරෙස්ටිං නිසා සටන් විරාමයක් ගැහුවට පාඩු නෑ. මගුල් ගෙවල් වල ඉතින් මුලු කේක් එකම කන්න බෑනෙ. ඒකෙන් ඇත්තටම කේක් වලින් හදපු කොටසයි නෙ තියෙන්නෙ. මනමාලයගෙයි, මනමාලිගෙයි කරුමෙට අපි දෙන්නට ඒ පාර්ට් එකම සෙට් වුනා. ඔන්න ඉතින් ඒකත් ඉවරයි. 

දැන් මනමාලියි, මනමාලියි හෝල් එකට ආව. පෝරුවෙ චාරිත්‍ර පටන් ගත්ත. හැමෝම ඒක දිහා ආසාවෙන් බලන් ඉන්නව, මට කවුරුත් attention දෙන්නෙ නෑ. එව්ව්ව කොහෙද අපිත් එක්ක. කෑ ගහල මට ඉන්න බෑ, මෙව්ව ගලවල දාන්න, වමනෙ දාන්න ඕනෙ, චූ දාන්න ඕනෙ, වෙඩින් එක දැන් ඇති කියල වද දෙන්න පටන් ගත්ත. එක පොටෝ එකකවත් මම නෑ. පොටෝ ගහන හැම වෙලේම ඉඳල තිබ්බෙ ටොයිලට් එකේ. මට ලස්සන ගවුමක් මහල දීපු වෙලේ ටොයිලට් එකට රෙද්දක් ඔතල ලඟ තියා ගත්තනම් ඒ මිනිස්සුන්ට ලේසියි. ටික වෙලේකින් මේ සෙල්ලම best man අයිය කෙනෙක්ට තේරුණා. මිනිහ ඉනේ ගහන් හිටිය කඩුව පෙන්නල කිව්ව මේ පේනව නේද මේක ? මේක මම එලියට ගන්නද? පොටෝ එකට ඉන්නවද? 

ඔච්චර කේන්ති ගන්න ඕනෙ නෑනෙ දෙයි හාන්දුරුවනේ. කලින් කිව්වනම් ඉන්නවනෙ. ඒ අයියට පිං සිද්ධ වෙන්න කොහොමින් කොහොම හරි ඒ මිනිස්සු මම ඉන්න පොටෝ දෙක තුනකුත් ගහ ගත්ත. ඒ වැඩෙත් ඉවරයි. ඔන්න ගියා කේක් කපන්න. ඔන්න මනමාලි ආයෙ අඬන්න ගත්ත. කෝ දෙයියනේ කේක් එක!!! මිනිස්සු උඩ බිම බලනව. කේක් එකට වුන දේ අද වෙනකල් දැනන් හිටියෙ මල්ලියි මමයි විතරයි. ඔයාලත් කාටවත් කියන්න එපා. අන්තිමට හෝටලෙන් පිටත් වෙද්දි මනමාලිට අඬාගන්නවත් පණ නෑ උදේ ඉඳන් අඬලම. 

අදටත් ඒ දෙන්න හරිම ආදරෙන්, හොඳින් ඉන්නව. 

අපේම මිනිස්සු අතර මං දැකල තියෙනව කලු පූසෙක් එලියට ආවම යන ගමන නවත්තල ගෙදර එන මිනිස්සු. උලමෙක් කෑ ගැහුවම අසුභයි කියල හිතන මිනිස්සු. අපි 'ආපෝ උලමෙක්' කියනව වගේම උනුත් කියනව ඇති 'අපෝ අන්න මිනිහෙක් කෑ ගහනව' කියල. අපි කවදාවත් සොබාදහම ඇති සැටියෙන් බාර ගන්න ලෑස්ති නෑ. මෙහෙම වුනොත් අසුභයි, වැඩ නවත්තන්න ඕනෙ, අද මේක කරන්න හොඳ නෑ කියල අපි දෙයක් අතාරිද්දි තව කෙනෙක් ඒ අවස්තාව ගන්නව. 

අපිව පස්සට අදින්නෙ අපිමයි. අරමුණ සුභයි නම් හැම මොහොතක්ම සුභයි. 

දැන් මේක කියෙව්වට පස්සෙ මාව වෙඩින් එකකට වද්ද ගන්න බයයි නේද? මල්ලි වයසට ගරු කරපන්! දැන් වයස පහක් නෙමේ විසි පහක්!  


- අශන්ෂණී -


 

Comments

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි