හප්පෙක්
මාව හොඳට දන්න ගොඩක් අය දන්නව මං ඕනෑම සතෙක්ට බයයි කියල. සමනලයගෙ, කැරපොත්තගෙ ඉඳන්, බල්ල, පූසා පහු කරගෙන අලිය, කොටිය දක්වා යනකල් ම හැම එකාටම මං බයයි.
ඉතින් මේ සත්තුන්ට බය වෙන එකේ සහ අප්පිරිය කරන එකේ ප්‍රභේද තියෙනවනෙ. සමහරු පොශ් කියල පෙන්නන්න සත්තුන්ගෙන් ඈත් වෙනව, තවත් සමහරු සමාජ අවදානය ගන්න සතෙක් දැක්ක ගමන් හූ මිටි තියනව. මගේ වර්ගෙ ඔය දෙකම නෙමේ, මං ආයෙ දෙකක් නෑ සිතින්, කයෙන්, වචනයෙන් 3න් ම පණ බයයි. ඒක අප්පිරිය කිරීමක්වත්, එපා කීමත්වත් නෙමේ. මම සත්තුන්ට ඇත්තටම ආදරෙයි.
ඉතින් ඔය සත්තුන්ට බය කියන මෙව්ව එක මගෙ හිතට ආවෙ මෙහෙමයි. යටගිය දවස, මතක හැටියට 1998 අවුරුද්දෙ තමයි ඔය සිද්ධිය වුනේ. මට එතකොට වයස අවුරුදු 2.5ක් නැත්තම් 3ක්. මට තිබුන හොලවද්දි සින්දු ඇහෙන පොඩි ගැජමැටික් එකක් තියෙන ටූත් බ්‍රශ් එකක්. ඔය මියුසික් කන්සෙප්ට් එක ගැන තව දුරටත් කියනව නම් අපේ ගෙදර අයට දැඩි විශ්වාසයක් තිබ්බ සංගීතය පාවිච්චි කරල මොකක් හරි වැඩකට මාව යොමු කරන්න පුලුවන් කියල. දත් මදිද්දි ටිලින් ටිලින් ගාල සද්දයක් එක්ක පොඩි ගිටාර් පාරක් ඇහෙනව, කොමඩ් එකේ වාඩි වුනත් ඒකෙත් අක්ක කෙනෙක් හීනියට සිංදුවක් කියනව. ඒ වැඩේටවත් නිදහසක් නෑ. තව ටික කාලෙකින් බෝනික්කෙක් හම්බුනා. උගෙ සූප්පුව ගලවපු වෙලේ ඉඳන්, මල ගෙවල් වල කුලියට අඬන ඇන්ටි කෙනෙක් වගෙ මල ලතෝනි දීල අඬනව (පස්සෙ අවුරුද්දක අවුරුදු කාලෙ කාලෙ ඌව කලු තීන්ත ගාල, සූප්පුව ගලවල සෙල්ලම් ගෙදර කොහා කියල නමක් දාල ගේ ඉස්සරහ ගහක එල්ලුව. පැය ගානයි කොහා කෑ ගැහුවෙ. ඌටම ඇති වෙලා කට වහ ගත්ත. නිකන් අපරාදෙනෙ, කලු තීන්තත් ගාල ඉන්න එකේ ඊලඟ මාසෙ සෙල්ලම් ගෙදර ත්‍රස්තවාදියෙක්ට ගත්ත ඩයල් එකව ) හරි දැන් ඇඩ් ඉවරයි.
මට ඔන්න ඔහොම බ්‍රශ් එකක් තිබ්බ. ඔන්න ඔය කාලෙ අපේ ගෙදර හිටිය පූසෙක්. මං ඌට ටිකක්වත් බය නෑ. ඔන්න දැන් මංතුමී උදේම නැගිටල දත් මදිනව (ඔව් ඒ කාලෙ දතුත් මැද්ද) පූස්තුමත් මං තුමී වටේම කැරකි කැරකි ඉන්නව. දැන් වගේ නෑ මාත් ඒ කාලෙ හෙන ගොනා. ඊඊඊඊ, ආආආආ කිය කිය කෑ ගගහ දත් මදින්නෙ, පූසටත් වැඩේ අල්ලල ගියා. මූත් දැන් ඇස් ලොකු කරන් බලන් ඉන්නව මේකිට මක් වෙලාද කියල.මාත් දැන් ප්‍රේක්ශකයෙකුත් ඉන්නවනෙ කියල හිතාගෙන වැඩේ හෙන සීරියස් අරගෙන, කණ්ණාඩියෙන් බලාගෙන ඊඊඊඊඊ.... ගාගෙන ඉස්සරහ දත් ටික මදිනව. උගෙ කරුමෙට ඌත් ඊඊඊඊ ගාගෙන මං දිහා බැලුව.අල්ලල ගත්ත පූස්තුමා ව..... මැද්ද දත් ටික මගෙ බ්‍රශ් එකෙන්ම...... ඇනුන එතුමගෙ හක්කෙ... කෑ ගහගෙන දිව්ව..... ආයෙ ගෙයි පැත්තෙවත් ආවෙ නෑ. ඌ කෑ ගහද්දි හිත ගැස්සුන වෙලේ ඉඳන් මං සත්තුන්ට බයයි.
ඔහොම ටික කාලයක් යද්දි ගෙදරට ලේනෙක් ආව. ඇත්තටම අපි ඌව ඇති කරන්න ගත්ත නෙමේ, ඌ බලෙන් ආවෙ. මූත් ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ ඩයල් එක. කොච්චර කලත් යවා ගන්න අමාරුයි. ලේනෙක් කූඩු කරන්න හිතෙන්නෙත් නෑ, එලියෙ තියලත් බෑ. ඌ එලියෙ හිටියොත් මං කූඩුවෙ. අයියටත් දැන් මේක හෙන ප්‍රශ්නෙ. මගෙ හිත සනසල ටික ටික මාව ලේන ලඟට කිට්ටු කෙරෙව්ව. 'බය වෙන්න එපා මූ ඇඟට නගින්නෙ න්' කිව්ව විතරයි, නෑ කියන්න හම්බුනෙත් නෑ ලේන් තුමා අත දිගේ, බෙල්ල දිගේ උඩට ගිහින් ඔලුව උඩ ඉඳන් වටපිට බලල තමා නතර වුනේ. මං කෑ ගහපු තරමට ලේන් තුමාට උන් හිටි තැන් අමතක වෙලා අයියගෙ අතටම විසි වුනා.
ඔහොම ඔහොම යද්දි , 2010 අවුරුද්දෙ විතර අයිය උස්සන් ආව පොඩි බලු පැට්ටෙක්. සුදුම සුදුයි පුලුන් ගොඩක් වගේ. අඟල් බාගෙ අඩිරූලක් තරම්වත් උස නැද්ද මන්ද. මූට බය වෙන එකනම් මගෙ තත්ත්වෙටත් හරි නෑ වගේ. එහෙම බෑනෙ අපි ප්‍රතිපත්තිගරුක මිනිස්සුනෙ. ඌටත් බය වෙන්න හිතා ගත්ත.දැන් මූව කාමරේක දාල ඉන්නව (කූඩුවක නෙමේ). ඒ කාමරේ පොඩි වැටකුත් ගහල (පොඩි ලමයි වැටෙනවට ගහන එකක් වගේ). වැට ගැහුවෙ වෙන මුකුත් නිසා නෙමේ, මං කෑ ගහල ඌවත් බය කරයි කියල. ඒ වැටෙන් පනින්න තරම් මොලයක් බලු තුමාට නෑ. දවසක් මං ඉතින් බඩගිනි වෙලා කෑම හොයාගෙන හොයාගෙන යන අතරෙ මට හිතුන මූව බලන්න. නිකමට ඔලුව දාල බලද්දි මූ ඉන්නව හෙන ජොලියෙ නට නට සෙල්ලම් බඩු එක්ක. මට හිතුන ඌට බඩගිනි ඇති කියල. ඌටත් කෑම බෙදාගෙන ඇව. දැන් තමා මිශන් එක. ලොකු මේසෙකුත් තල්ලු කරන් ආව කාමරේ ලඟට. කොස්සත් ගෙනාව. උගෙ කෑම එක බිම තියල නැග්ග මේසෙට. කොස්සෙන් ඇනල අර උගෙ කාමරේ වැටට දාල තිබ්බ ලොක් එකත් පන්න ගත්ත. ඔන්න දැන් බලු තුමා කාමරෙන් එලියෙ, මං මේසෙ උඩ. මූ කෑම එක දිහා නෙමේ බලන්නෙ මේසෙ උඩ ඉන්න මං දිහා. ඇයි හත්තිලව්වෙ දෙවෙනි ඉනිමෙවත් නෑනෙ මෙහෙම සීන්. ඌ බලන්න ඇති මොන නාඩගමක්ද මේ කියල. එතකොට තමයි මට මතක් උනේ රෝල්බැක් ප්ලෑන් එකක් නෑ නේද කියල. දැන් මූව එලියට ගත්තට හදිස්සියක් වුනොත් කාමරේට යවන්නෙ කොහොමද? මූ කන්නෙත් නෑ, කාමරේට යන්නෙත් නෑ. පැයකට වගේ පස්සෙ අම්ම ගෙදරට එනකල් පැයයි විනාඩි දහ අටක්!!!! අර ශෂිකා නිසංසලා අක්කගෙ තියරි එකට, 'ඔබ ඇස් පිය නොහෙලා බැලුවා මගෙ දෑස් දිහා' කියල... මං මේසෙ උඩ ඉඳන්, ඌ බිම ඉඳන් මූනට මූන බලන් හිටිය. වෙලාවට අම්ම ආවෙ, නැත්තම් මගෙ තරුණ ජීවිතේම අර මේසෙ උඩ තමා ගෙවෙන්නෙ.
ප.ලි: කිසිම සතෙක් සමග මගේ චායාරූපයක් නැති බැවින් ඉතා සොවින් යුතුව පොටෝවක් ගූගල් කරමි
-අශන්ෂණී-
Comments
Post a Comment