අශන්ෂණීට අවුරුද්දාආආයි


අදට 'අශන්ෂණී' බ්ලොග් එකට අවුරුද්දයි.අද ලියන්නෙ ජීවිත කතාවක් නෙමෙයි. තමන්ගෙ කතාව ලියන්න බලන් ඉන්න අයට සහ ලියන්න බයේ ඉන්න අයට වැදගත් වෙන කතාවක්.

හරියටම අවුරුද්දකට කලින් මේක පටන් ගද්දි බ්ලොග් එකක 'අ'යන්න වත් දැනන් හිටියෙ නෑ. මොකද ඉතින් මං රස්සාව විදියට බ්ලොග් ලියන මනුස්සයෙක්වත්, ජනමාධ්‍යවීදියෙක්වත් නෙවෙයි නෙ ආයුබෝවන්ඩ! මෙච්චර කල් ලිව්වෙ 'නොවැටී' හිටිය හැටි නෙ. අද කතාවෙ සමහර කොන් වල මන් 'වැටුනු' හැටිත් තියෙයි.

සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න තියෙන මූලික සුදුසුකම තමා සිංහල වාක්‍ය ගැලපීමේ හැකියාව.ඔන්න ඕක තමා මට නොතිබුණම එක. මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳන් හොඳම යාලුව මෑත කාලෙ ලියපු කතාවකත් ඕක හරි ලස්සනට කියල තිබ්බ. ඒ කාලෙ මං සමාජ අධ්‍යනය මොනිටර් (අපිට ඒ කාලෙ ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය එකතු කරල එක විෂයක් තිබ්බේ. මගෙ යාලුව සිංහල මොනිටර්. ටීචර් විශ්වාස කලා යාලුව මොනිටර් වීම නිසා සහ එකට වැඩ කිරීම නිසා අනිත් එකාටත් අදාල විශය පුළුවන් ඇති කියල. සිංහල මොනිටර්ගෙ යාලුව වෙච්ච මට වාක්‍ය පහක් ගලපල ලියා ගන්න බෑ වගේම, සමාජ අධ්‍යනය මොනිටර්ගෙ යාලුව වෙච්ච ඌට ලංකා සිතියමේ කොලඹ ලකුණු කර ගන්නවත් බෑ. එහෙමයි කියල අපි නෝන්ඩි උනේ නෑ සහෝදරවරුනි! හැමදාම දෙන්නගෙම සිංහල හෝම්වර්ක් කලේ ඌ. සමාජ අධ්‍යනය හෝම්වර්ක් කලේ මම. දෙන්නම ජාමෙ බේර ගත්ත. මං තේරුම් ගත්ත සාමාන්‍ය සිංහල ඉගෙනගන්න ට්‍රයි කරල නම් මට මේ කපේදි ගොඩ ඒමක් නෑ කියල. මොකද මහ රෑ හීනෙන් බය වෙලා ඇහැරුණ වෙලාවක වුනත් සිංහල පොත අතට ගත්තොත් මට අනිත් අතට කලන්තෙ හැදුන වගේ නින්ද යනව. ඉතින් මං සිංහල වලට ආසාව ඇති කර ගන්න කම්මැලි නැති ක්‍රමයක් හෙව්ව. අන්තිමට මම තීරණය කළා ගීත විචාර ලියන්න. මුලින් එක එක්කෙනා ලියපු විචාර කියෙව්ව. ඒවයින් තමයි තේරුනේ හත්දෙයියනේ අපේ මිනිස්සුන්ට වැඩිපුර සිංහල තේරෙන්නෙ නැති නිසා මොන තරම් නම් ගායකයො බේරිලද කියල.  සරලව කියනවනම් නිකමට බලන්න ෆිල්ටී කියන්නෙ මොන තරම් නම් බැනුම් අහන ගායකයෙක්ද කියල. හැබැයි ඒ තේරුම හා ඊට එහා ගිය තේරුම් තියෙන සිංදු ඉස්සර ලියවිලා තියෙනව. වෙලාවට අපේ මිනිස්සුන්ට එව්ව තේරිල නෑ. තේරුණා නම් ගායකයත් නෑ, සිංදුවත් නෑ. මොකද අපේ මිනිස්සු රටට ආදරේ නැති උනාට සංස්කෘතිය කියන වචනෙට පට්ට ආදරෙයි නෙ. එදා ඉඳන් ඒ පරණ සිංදු ගායකයෙක් ස්ටේජ් එකට නැගල කියනව දැක්කම, අට වසරෙ සෞඛ්‍ය පොතේ ප්‍රජනණය පාඩම ගුරු මේසෙ උඩ නැගල කියවනව වගේ ෆීලිං එකක් එන්නෙ. මං ඒ එකක්වත් විවේචනය කරන්නෙ නෑ. මොකද මං රැඩිකල් නෑ වගේම, අපේ උන් 'මවා ගත්ත' සංස්කෘතියෙ වහළෙකුත් නොවෙන නිසා. හැබැයි ඔය ක්‍රමේට සිංහල ඉගෙන ගන්න ගත්තට පස්සෙ මලාටවත් නින්ද ගියෙ නම් නෑ. පෙනේද උනන්දුව! හහ් හහ් හම්මෝ නේද!

ඔහොම යද්දි යද්දි කැම්පස් convocation දවසෙ මගෙ අතින් ලියවුණ කතාවක් සෑහෙන්න මිනිස්සු අතට ගියා. සෑහෙන්න මැසේජ් එනන් ගත්ත. 'මං වැටිල හිටියෙ, හැබැයි මේක දැක්කම මට නැගිටින්න ධෛර්යයක් හම්බුණා' කියල. මං අහල තියෙනව කතාවක් 'හැමදේම වෙන්නෙ හොඳට' කියල. මං ඒක කවදාවත් විශ්වාස කලේ නෑ. මොකද මට වුන සමහර දේවල් වලින් මොන මල යකෙක්ටවත් හොඳක් වුනෙත් නෑ, වෙන්නෙත් නෑ කියල ටක්කෙටම දන්න නිසා. අන්තිමට ඒ වුන දේවල් වලින් වුන 'හොඳ' මම හොයා ගත්ත. මගේ කතාවෙන් මිනිස්සු සිය ගාණකගෙ ජීවිත වෙනස් වුනා. මගෙ ඉන්බොක්ස් එක ඒකට සාක්ෂි. 


ඔය 'බ්ලොග්' කියන වචනෙ මගෙ ඔලුවට දැම්මෙ අනුශ්ක. ඒ කාලෙ අපි හොඳ යාලුවො. එයා තමයි මේ බ්ලොග් එකේ domain එකේ අයිතිකාරය. මොකද එයාට ඕනෙ වුනා මතක හිටින URL එකක් එක්ක බ්ලොග් එක එලියට දාන්න.  ඔන්න ඉතින් පළවෙනි බ්ලොග් එක පබ්ලිශ් කලා කියමුකො. 9 වෙනිද උදේ උනා. එදා ඔෆිස් එකේ ඔන්ලයින් මීටිං එකක් තිබුන. ඔය කාලෙ අපි working from home. වීඩියෝ කෝල් එකක් තමයි ගන්න තිබ්බෙ. දන්ත කළ්‍යාණිය මැදල, කේශ කළ්‍යාණිය පීරල, ටීම්ස් ඇප් එක ඕපන් කරල ජොයින් බට්න් එක ඔබන්න යද්දිම ෆෝන් එක රිංග් උනා. 'මිස් අපි මේ (සමාගමේ නම ) එකෙන් කතා කරන්නෙ. මිස්ගෙ නමට පාර්සල් එකක් තියෙනව. ගේට් එක අරින්න පුලුවන් ද' කිව්ව. මටත් ඉතින් නිකං දෙනවනම් මන්න පාරක් හරි කමක් නෑනෙ.  

මොනා කරන්නද ඉතින්! මං මේ මීටිමක. ඔයා පැයක් ගේට් එක ලඟ ඉන්න කියන්න යෑ. දූවල ගියා... පාර්සල් එක ගත්ත... ආයෙ දුවන් ඇවිත් මීටිමේ ජොයින්  බට්න් එක එබුව. දැන් මට හෙන ප්‍රශ්ණයක් මේ පාර්සල් එක මොකක්ද කියල. බලන්න විදියකුත් නෑ වීඩියෝ කෝල් එකක් නිසා. වීඩියෝ ඕෆ් කරල මෙහෙයුම කරන්නත් බයයි කම්පැනි එකට ජොයින් වෙලා මාසයයි. පාර්සලේ දිහා බලාගෙන දත කාගෙන පැයක් හිටිය පැයක්! මොකෙක් හරි එකෙක් කොලොප්පමට වගේ පැයකින් පුපුරන්න බෝම්බයක් එව්වනම් අබ සරණයි. 

අන්න ඒ හම්බුණ මෙව්ව එක තමයි මේ පොටෝ එකේ තියෙන්නෙ. 




මං එදා තමයි දැන ගත්තෙ මං වගේ මරි මොංගල් යාලුවො ආස්සරේ කලාට අනුශ්ක කියන්නෙ well organized මනුස්සයෙක් කියල. ( මගෙ address එක හොයා ගන්න විඳපු දුක ගැන අපි කතා නොකර ඉමු ). ඉතින් ඔන්න ඔහොම ඔයාලගෙ පුංචි පුංචි දේවල් පවා සමරන අය ඉන්නවනම් පරිස්සමෙන් ඈ. අත්දැකීමෙන් කියන්නෙ හුම්ම්.. ගොනා හැරෙන්නෙ පොල් පැලේට.

මං ලිව්වෙ මාසෙකට එක කතාවක් වගේ. ඔව් ඉතින් දවස ගානෙ මොකක් හරි අටවල, අඹරල දාන්න මං එදිරිමුණි නෙමෙයි නෙ. මේක අශන්ෂණීගෙ ජීවිත කතාව වන නිසා, හැම පෝස්ට් එකකින්ම කාටම හරි වැදගත් වෙන මොකක් හරි කියන්න තමයි උත්සහ කලේ.

තර්ජන නැද්ද? (මේක ලියන්නෙ කතා කරන්න, ලියන්න බයේ ඉන්න අයට ) හම්මෝ.... එව්ව ජාති දෙකක් තියෙනව. 

1. ඇත්තටම කතාවට සම්බන්ධ අය

2. තමන් සම්බන්ධයි / මේක මට කිව්ව එකක් කියල හිතන අය

මැසේජ්, කෝල්, විතරක් නෙමෙයි, ඊමේල් පවා එවල තර්ජනය කලා. මං නෙගටිව් දේවල් එක්ක මැරි මැරි ජීවත් වෙන්නෙ නැති ටයිප් එකේ මනුස්සයෙක්. හැබැයි මේ වගේ දේවල් උනාම ඕනම මනුස්සයෙක් වැටෙනව. යාලුවොන්ගෙ උදව් එක්ක හිත හදාගෙන, අර contacts බ්ලොක් කරල ආයෙ ලියන්න පටන් ගත්තම, අලුත් ඊමේල්, අලුත් නම්බර්ස් වලින් පරණ සෙල්ලම පටන් ගත්ත. අන්න ඒක මේ තත්ත්වෙට එන්න, තව තවත් ශක්තිමත් වෙන්න ලොකු උදව්වක් වුනා. මොකද එකම තර්ජනේ හැමදාම දැක්කම ගාණක් නැතුව යනවනෙ. කොකාකෝල බෝතලයක් වුනත් කඩල, පළවෙනි දවසෙ රහ බලල, මූඩිය ඇරල තිබ්බොත් ඊලඟ දවසෙ මෙලෝ රහක් නෑ. තර්ජන වලට උනෙත් ඒකමයි. 

අපි හැමදේකම හොඳ පැත්ත දකිනවනම් තමයි ගොඩක්ම වටින්නෙ

වැදගත්ම දේ තමයි මන් උඩ කියපු ජාති දෙකේ අයගෙන් ඇරුනම වෙන කිසිම කෙනෙක්ගෙන් විවේචනයක් එල්ල වුනේ නෑ. අපිට ice cream විකුණුවත් හැමෝවම සතුටු කරන්න බෑනෙ. මේ ලියන තප්පරේ වෙද්දි මේ බ්ලොග් එක බලපු මිනිස්සු ගාණ 287,692යි. කිසිම ඇඩ් එකක් මේ බ්ලොග් එකේ ඔයාලට දකින්න නෑ. මොකද මගෙ අරමුණ වෙනස්. වාණිජ අරමුණක් ඇති වෙච්ච දවසක මං මොනා හරි විකුණල කීයක් හරි හොයා ගන්නම්. අදටත්, තව අවුරුද්දකින් බැලුවත්, මෙතන තියෙන්නෙ අශන්ෂණීගෙ ජීවිත කතාව විතරමයි. 

අද මෙහෙම මගේ කාමරේට වෙලා chill එකේ සිංදුවක් අහගෙන, බ්ලොග් එකක් ලිව්වට, ලබන අවුරුද්දෙ තත්ත්වෙ වෙනස් වෙයි.හැබැයි ගල්, මල් මොනා ආවත් අර එදිරිමුණි අයිය කිව්ව වගේ 'දිගටම ලියමි'.

අද වෙනකල් මේක කියවපු, post එකක් පරක්කු වුනාම කතා කරල බැනපු, දිරි ගන්වපු, ලියන්න කරුණු මතක් කරපු, මාතෘකා request කරපු, වට්ටන්න හදපු අයට වගේම මේක කියවල ජීවිතේ වෙනස් කර ගත්තු, ඒ කතාව මාත් එක්ක කියල මට ධෛර්යයක්, සතුටක් වුන හැමෝටම පිං.

ප. ලි : මේක නම් ලියන්නෙම බ්ලොග් එකක් ලියන්න හිතන් ඉන්න අයට හුම්ම්. මං මේක කීප වතාවක් මූණ දීපු අත්දැකීමක් ආයුබෝවන්ඩ. දැන් දැන් අනුශ්ක එක්ක එලියට යද්දි මිනිස්සු මුලින් අඳුර ගන්නෙ එයාව. කතාවෙ ඉන්න මනුස්සය තමයි ප්‍රසිද්ධ. ලියපු මම ඔටුව.ජෙහාන් කිව්ව වගේ ඒක වෙනම ආතල් එකක්! ආත්ම තෘප්තියක්!

-අශන්ෂණී-




Comments

  1. titanium arts
    TATONIC goyangfc.com ART CUSTOMING · https://septcasino.com/review/merit-casino/ TATONIC ROCKING T-TATONIC ROCKING T-TATONIC ROCKING T-TATONIC. This ford fusion titanium unique and original 1xbet app design is crafted with the use www.jtmhub.com of sustainable

    ReplyDelete
  2. Super Lucky Casino has a variety of|quite so much of|a wide range of} on line casino type video games for you to 카지노사이트 can} play. They have greater than half a dozen slots video games may be} themed in various ways. Each game has properly over a dozen machines to choose from|to select from} together with various every day prizes. A few of them even include tournament modes and leaderboards to see how you stack up in opposition to the competitors. Pharaoh’s Way Slots is one of the|is among the|is doubtless considered one of the} most popular slots video games out there. The developer boasts that over ten trillion video games have been played.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි