කොරෝන කාලේ බෝ වුන ආලේ
කාලෙකින් ලියන්න හිතුව නොලියම බැරි කෙනෙක් ගැන. පහුගිය දවස් වලට වඩා තරමක් මනස ස්ථාවරයි කියල හිතුන නිසා ලියන්න ගත්ත. නැත්තම් එහෙම මං ලියන එව්ව කියවල ඔහෙලටත් ඩිප්‍රෙශන් හැදෙනව.
පහුගිය දවස් වල අපේ ජීවියටයි මටයි අවුරුද්දක් වෙච්ච නිසා අද ලියන්නෙ ඒ ජීවියා ගැන. මෙහෙමත් එකක් තියෙනව හැබැයි. පාරෙදි අපි නොදන්න කෙනෙක් වුනත් අපිත් එක්ක කතා කලොත්, මුලින්ම අඳුර ගන්නෙ අපේ අනුක්ක උත්තමයව. ඒකට හේතුව තමයි මේ බ්ලොග් එක. කරුමෙ කියන්නෙ මේ බ්ලොග් එකේ කතා වල ඉන්න ඒ උත්තමයව හැමෝම අඳුර ගන්නව. බ්ලොග් එක ලියන මාව අඳුර ගන්න එකෙක් නෑ එකෙක්! එතුමා කියන විදියට ඒක එහෙම වෙන්නෙ මේ බ්ලොග් එක නිසා එතුමා සමාජෙට විහිලුවක් වෙලා ඉන්න නිසාලු.
ඒ උත්තමය තමා අදටත් මට ජීවිතේ හම්බෙලා තියෙන හොඳම සොප්ටෙයා ඉන්ජිනියර්. අපි ඉතින් තරඟ වලට යනවා, මං අදහසක් දෙනව, එතුමා සිස්ටම් එකක් අටවනව,දෙන්න එකතු වෙලා අඟහරු වල ජනාවාස ව්‍යාපෘතියක් කරන් ආව වගේ හරි ලොකු සීන් එකෙන් ඔව්ව ප්‍රසන්ට් කරනව. සිස්ටම් එකේ නැති features පවා තියෙනවමයි කියල පෙන්න ගන්න පුලුවන් අමුතු මෙව්ව එකක් අපි දෙන්නට තිබ්බ. හැබැයි ඕක කරන්න නම් අපි දෙන්නම ඉන්න ඕනෙ. ඒ නිසා දැන් අපි රස්සා කරන තැන් වල මිනිස්සු බය වෙන්න එපා (අපි දෙන්නව එක තැන රස්සාවට ගන්න ඉන්නවනම් ටිකක් බය උනාට කමක් නෑ). ඉතින් තරඟ වලට යනව එනව, මගකදි දැක්කොත් හායි, බායි කියනව ඇරෙන්න ලොකූම ලොකු යාලු කමක් අපි අතරෙ තිබ්බෙ නෑ.
ඔහොම ටිකෙන් ටික වැඩි වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන අපි ටිකක් හොඳ යාලුවො වුනා. ඉතින් මං ඒ උත්තමයගෙ මැසේජ් එකකට රිප්ලයි කරනව දැකල දවසක් මගෙ යාලුව කිව්ව ' ඕක කෙල්ලන්ට මැසේජ් දාන ටයිප් එකෙක් නෙමෙයි. ඔය මැසේජ් දාන්නෙ නිකන්ම නෙමෙයි' කියල. අන්න ඒ නිසා 'ගොනා හැරෙන්නෙ පොල් පැලේට' කියල මුලින්ම හොයා ගත්ත ක්‍රෙඩිට් එක දෙන්න ඕනෙ මගෙ යාලුවට. ඔහොම ඔහොම ගිහින් එතුමා කැමැත්ත ප්‍රකාශ කරල මාස තුනකටත් ලන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි 'මාත් කැමතියි' කියන නැකත ආවෙ. මං ඔය ගැන මුලින්ම කිව්වෙ යාලුවට. ඊට පස්සෙ නිදන් හිටිය අම්මවත් ඇහැරවල ඕක කිව්ව. ඊට පස්සෙ දෙයියන්ටත් කිව්ව අනේ මෙයා හරිම කෙනා වෙන්න කියල. මොකද සාමාන්‍යයෙන් මගෙ තේරීම් අයිස් ක්‍රීමුයි, බෝල්ට් ඇණයි වගේ. ඊට පස්සෙ ඔන්න කැමතියි කියන්න ඕනෙ කියල හිතන් ගත්ත උත්තමයට මැසෙන්ජර් කෝල් එකක්. කැමැත්ත කියනව කෙසේ වෙතත් කතා කරන්න උනෙත් ඉක්ක වැටෙනව වගේ. වහනයක් කතා කරනව, යාලුවගෙන් මට කෝල් එකක් එනව 'ඕයි මේ, කිව්වදකිව්වද? ' කියල අහනව. මමත් ඉතින් ' තාම නෑ...' කියනව කෝල් එක තියනව ආයෙ උත්තමය එක්ක වචනයක් කතා කරනව. ඔන්න ඔහොම පැය බාගයක් වගේ වගේ නටල නටල ජූනි පළවෙනිද හරියටම දවස ලබන වෙලාවෙ 00:00 ට තමයි කැමතියි කිව්වෙ. කැමතියි කියල කිව්වට මොකෝ අනිත් පැත්තෙ මනුස්සයගෙ උත්තරයක් නෑ. විනාඩියක් දෙකක් ගිහින් තමයි මේ මනුස්සය හරි සිහිකල්පනාවට ආවෙ. කල්පනාව ආවයි කියමු. මෙච්චර හනුමා වන්නම නටල කැමැත්ත දීපු කෙල්ලගෙන් මුලින්ම අහපු ප්‍රශ්නෙ දන්නවද?
'මේ ඔයා දැන් මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද? '
දීපල්ලකො මෙව්වට උත්තර!
පහුගිය අවුරුද්ද දිහා හැරිල බැලුවම මං අපි ගැන තේරුම් ගත්තෙ මෙන්න මේ වගේ දේවල්.
අපේ උත්තමය සෑහෙන්න දුර හිතල තීරණ ගන්න කෙනෙක්. එතුමාගෙ සමහර ප්ලෑන් ඇහුවොත් යහ පාලන ආණ්ඩුවෙ දින සීයෙ වැඩපිළිවෙලත් කොර වෙනව. කන්න බොන්න ගියත් එච්චරයි. එතුමා තීරණ ගන්නෙ බ්‍රෑන්ඩ් වල නම් පවා සලකල බලල. මට නම් ඉතින් එහෙම එකක් නෑ. පිදුරු, තණකොල හරි කාල ඉන්න පුලුවන් හැකියාවක් උපතින්ම ලැබිල තියෙනව. එතුමාව හම්බෙන කල් මං හිටපු වැරදි මත 2ක් තිබ්බ.
1. මේ ලෝකෙ වැඩියෙන්ම කතා කරන මනුස්සය මම
2. පිරිමි ළමයි පැය 24ම එක දිගට කතා කරන ජාතියක් නෙමේ
මේ උත්තමය හම්බුනාට පස්සෙ දෙයියන්ගෙ පිහිටෙන් ඒ වැරදි මත දෙකත් දුරු වුනා. මං ගොඩක් වෙලාවට facts and figures එක්ක කතා කරන කෙනෙක්. සෙන්සොඩයින් වගේ තමයි, සංවේදීතාව ගෑවිලවත් නෑ. ඉතින් මගෙ කතා වලට සංවේදීතාව ඔබල, මගෙ වචන වලට අනිත් මිනිස්සුන්ගෙ සංවේදීතාව ඇවිස්සිල කඳුලු පනින ටයිප් එකේ තිර පිටපත් ලියන්නෙ අපේ උත්තමය.
අපි දෙන්නගෙ මතක ශක්තිය ගැන කතා නොකලත් කමක් නෑ. සාමාන්‍යයෙන් කෙල්ලන්ට ඉතින් හුස්ම ගත්ත වාර ගානත් මතකයිලුනෙ. ඒක සාමාන්‍යයි කියමුකො. හනේ දෙයියනේ! මේ මනුස්සයට මතක හිටින දේවල්. ඔන්න දෙන්න එක්ක යූටියුබ් වීඩියෝ එකක් බල බල හිටිය කියල හිතන්නකො. ඉතින් ඒ වීඩියෝ එකේ නලු බට්ටෙක් හරි නිලි බට්ටෙක් හරි දිහා බලල 'මං මෙයාව කොහෙදි හරි දැකල තියෙනව' කියල එතුමා කිව්වොත් දෙයියන්ගෙම පිහිටයි. එතුමාට ඒක හිතුන වෙලේම වීඩියෝ එක බලන එක නවත්තල අර නලු බට්ටව හරි නිලි බට්ටව හරි දැක්ක තැන හොයනව. හනේ දෙයියනේ! සමහර වෙලාවට ඒ මිනිස්සු 2012, 2013 කාලෙ ඇඩ් එකක background එකේ හිටිය මිනිස්සු. ඉතින් ඔය ඇඩ් එක හොයාගෙන හරි ආඩම්බරෙන් මට පෙන්නනව 'මේ දැක්කද! මං කිව්වෙ මං දැකල තියෙනව කියල' කියල. දැන් ඉතින් ඇඩ් එකත් බලල ඉවර වෙලා බලපල්ලකො කලින් වීඩියෝ එක නවත්තපු තැන ඉඳන්. මට නම් ඉතින් ඊයෙ කෑවෙ මොනාද මතකත් නෑ ආයුබෝවන්ඩ!
එතුමා මට හිනා වෙලා ඉන්න උගන්නද්දි, මං එතුමාට හලාගෙන කෑම කන්න ඉගැන්නුව. එතුමා මට future plans ගැන explain කරද්දි, මං එතුමට සරල වැඩක් සාර්ථකව අනා ගන්න හැටි ඉගැන්නුව.අපේ කොරෝන කාලේ ආලේ ගෙවුනෙ ඔන්න ඔහොමයි.
සතුටෙන්ම ගෙවුන අවුරුද්දක් කිව්වොත් හරි.
ඕනවට වඩා කතා ලියන්න බෑ. ලබන අවුරුද්දෙ ලියන්නත් මොනා හරි තියෙන්න එපැයි.
එහෙනම් අපිට Happy belated anniversary!!
- අශන්ෂණී -

<3
ReplyDeleteThank you ❤ :)
DeleteAneeeee😍😍😍
ReplyDeleteThank you ❤ ❤ ❤
Delete