වතු වැඩ

 කාආආආලෙකින් කතාවක් ලියන්න බැරි වුනා. ලියන් නැද්ද, ලියන් නැද්ද කියල කට්ටිය අහන වාරයක් ගාණෙ මාර සතුටක් දැනෙනව ලෝකෙ එක කොනක නොපෙනෙන තරමින් ඉන්න මගෙ කතාව කියවන්නත් මිනිස්සු ඉන්නව නේද කියල. මේ වැඩේ වාසි නැත්තෙමත් නෑ.  අවුරුදු ගාණකින් හම්බුණ යාලුවෙක්ට වුනත්, මේ මිස් වුන අවුරුදු ගානෙ මං කලේ මොනවද කියල කියන්න ලොකු මහන්සියක් වෙන්න දෙයක් නෑ. මොකද මේ බ්ලොග් එක නිසා මං කරන ජෝගි මේ රටෙන් තුන් කාලක් දන්නව. 

අද ලියන්නෙ ඉස්කෝලෙ කාලෙදි දියුණු වෙච්ච මගෙ අරුම පුදුම 'වතු වැඩ' සම්බන්ධ හැකියාවන් ගැන. 



ඉස්කෝලෙ කිව්වම අමතක කරන්නම බැරි එකක් තමයි P. T. S. එහෙමත් නැත්තම් ප්‍රායෝගික තාක්ශණ කුසලතා පාඩම.අපිට ඔය විශය උගන්නන්න හිටපු ටීචර් ට ඔය නම සෙට් වෙන්නෙම නෑ. 

"ප්‍රා. තා. කූ. කියන එක මකල ලියනවල 'වතු වැඩ' කියල. එහෙම දෙයක්වත් ඉගැන්නුවෙ නැත්තම් කවද හරි කසාද බැඳපු කාලෙක ඒ මිනිස්සු උගන්නපු ගුරුවරුන්ටත් එක්ක බනියි."  

ඔන්න ඔහොම කියල නැවතුනේ නෑ. ඇදගෙන  ගිහින් අපිව එලවලු පාත්තියටත් දා ගත්ත.  බොරු කියන්න ඕනෙ නෑනෙ ඔතන හිටිය සමහර ළමයි වැස්සකටවත් වත්තකට බැහැල වැඩක් කරල නෑ. ආයෙ ඉතින් මම කියලත් වෙනසක් නෑ. අපේ අම්මගෙ මල් පාත්ති ළඟින් යද්දි මීටරේ දුර අරන් යන්නෙ. ඔව්වගෙ ගෑවිලා මලක පෙත්තක් හරි හැලුනොත් වසල හමාරයි නෙ. 

අපිට ඉතින් හැමදාම සෙට් වුනේ වල් පැල ගලවන්න, වතුර දාන්න, පස් බුරුල් කරන්න වගේ වැඩ. මිස් නුවර ගිය වෙලාවට උස්සන් එන එක එක ඇට ජාති පැල කරන්න එහෙමත් දෙන වෙලාවල් එනව. ඔන්න ඔය වගේ දවසක් සෙට් වුනා. මුලු පන්තියෙම ළමයි හෙන ගේමක් දීල තක්කාලි ඇට පැළ කලා. ' ඇච හිචෙව්ව චීච' කියපු පොස් ගෑනු ළමයි සහ අනෙකුත් සියල්ලෝම 'මහා වතු වැඩ' පාඩම නිමා කරල මහත් සරීර වේදනාවෙන් පංතියට යන අස්සෙ, ටීචර් මගෙ යාලුවට නවතින්න කිව්ව. යාලුවට නවතින්න කියනව කියන එක ටීචර් ට ' බයි වන් ගෙට් වන් ෆ්‍රී' ඔෆර් එකක් වගේ. මාත් ඉතින් ඌ කරන දෙයක් බලාගෙන ඉන්න හිතාගෙන නැවතුනා. 

'ළමය මේ බේසමට වතුර පුරවල මේ පොඩි කෝප්පෙන් අලුත් පාත්ති වලට වතුර දාන්න' ටීචර් ඒ වගෙ වැඩක් ඌට බාර දුන්නෙ උගෙ අහින්සක පෙනුමට රැවටිල වෙන්නෝනෙ. ඒ නසරානිය ගැන දන්නවනම් වතුර නැතුව පාත්තිය මලත් ඔය කෙල්ලට නම් වතුර දාන්න තිය, ළඟින් ඉන්නවත් බාර දෙන්නෙ නෑ. ටීචර් යනකල් කෝප්පෙ අල්ලන් කැරකි කැරකි වටපිට බල බල හිටපු මූ කරපු වැඩේ දන්නවද! ' කෝප්ප මොකටද බං මෙච්චර බේසමක් තියෙද්දි! ' පිරෙව්ව බේසම පුරවල වතුර එකක්... ගියා පාත්තියෙ එක කොණකට... දුන්න වතුර පාරක් මැරතන් දුවන එකෙක්ට ගැහුව වගේ. 

නුවරින් ගෙනාපු තක්කාලි ඇට නුවරටම විසි උනා. 

ටීචර් එන්න කලින් ඇට ටික අහුලල පාත්ති වල හන්ගල, ඊට උඩින් පස් දාල පන්තියට දිව්ව. ඒ වතු වැඩ season one!

ඔන්න ඔහොම අබ්ලික් දවසක් මටත් ආව. හරියටම ඊළඟ සතියෙ. අච්චර විනාසයක් කරපු එකාගෙ යාලුවට දෙවෙනි දවසෙ වත්ත බාර දෙනව කියන්නෙ ටීචර්ට කලින් දවසෙ වැඩේ මාට්ටු වෙලා නැද්ද? 

නෑ තමයි.... 

ටීචර් ගන්නෝරුවෙ තක්කාලි පැකට් දීපු මනුස්සයට පලු යන්න බනිනව බාල ඇට දුන්න කියල.මට බාර දුන්නෙ තක්කාලි නෙමෙයි රාබු. හැබැයි ඒ වැඩේ නම් යාලුවට දුන්න එකට වඩා ටිකක් අවුල්. මට බාර දුන්නෙ නිකන්ම වතුර දාන්න නෙමෙයි, කොපර් සල්ෆේට් මික්ස් කරපු වතුර දාන්න. 

ටීචර් යන්න කලින් කියලමයි ගියෙ 'හරි පරිස්සමට දාන්න දරුවො. කොල හෙමින් අයින් කරල, මුලට විතරක් වටෙන්න දාන්න හොඳේ' කියල.   

යාලුව වැඩේ අනා ගත්ත නිසා ඊට වඩා විද්‍යාත්මක විදියට කරන්න ඕනෙ කියල හිතල මල් පාත්තියෙ වතුර ටැංකියට කලවම් කලා කොපර් සල්ෆේට්. බේසමෙන් දැම්මොත්නෙ ඇට විසි වෙන්නෙ, දෙන්නම් හෝස් එකෙන් කියල හිතල, ඇල්ලුව හෝර්ස් එකෙන් වතුර පාර රාබු පත්තියට. එතකොට තමයි තේරුනේ කොල වල ගෑවෙන්නෙ නැති වෙන්න මුලට එව්ව දාන්න කිව්වෙ ඇයි කියල. කොල ටික බලන් ඉද්දි පිච්චිලා වගේ මොනාද වෙලා ගිය. මදැයි කොලා! ඕකට තමයි කියන්නෙ බැරි වැඩ නොකර හිටාන් කියල. 

හැබැයි ඔන්න ඕකට වතු වැඩ කියල කිව්වට අපිට රස රස කෑම හදන්නත් කියල දුන්න. අන්න ඒ සීන් එක නිසා තමයි 'වතු වැඩ' පාඩම එපා වුනේ නැත්තෙ.ගැඩවිල්ලු අල්ලනව වගේද අප්ප කේක්, පුඩින් හදන් කද්දි. ඊටත් වඩා අධ්‍යාත්මික සුවයක් දැනෙන්නෙ එහා පන්තියෙ උන්ට ඥාන කතා හදල දෙන දවසට අපිට පීස හදල දුන්නම. හොඳ වැඩේ ඕකුන්ට අපේ පන්තියෙ කොස්ස හොරකම් කරනවට. උන්ට පීසා සුවඳ දැනුනත් අපිට ඒකම ඇති නිදහසේ නින්ද යන්න. 

සිරාවටම ඒ ගුරුවරුන්ට පුදුම ඉවසීමක් තියෙන්න ඇති අපි වගේ උන්ට වතු වැඩ උගන්නන්න. මං ගුරුවරයෙක් වෙලා, මං වගේ ළමයි මගෙ පන්තියෙ හිටියනම් මං උන්ව අල්ලල පාත්තියෙ හිටවනව! 

දැන් මේ  කතාව කියෙව්වට අපේ අම්ම එක්ක එහෙම මෙව්ව ගැන බජනෙට යනව නෙමෙයි.

එයාට ඔව්ව කිව්වොත් දෙන උත්තරේ දැන්ම කියන්නම්.

' අනේ ඌයි මායි කරන වතු වැඩ! මූන හෝදන්න විතරයි කාමරෙන් එලියට එන්නෙ. වත්ත කාමරේට ගිහින් දෙන්න වෙයි කොට කොට ඉන්න'


- අශන්ෂණී -

Comments

Popular posts from this blog

එදා ඉඳන්

සිරිපාල සහ අශන්ෂණී

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි