අපි බැන්දා!
අද කියන්නම් වෙඩිං ප්ලෑනිං, වෙඩ්ං සහ පසු ජීවිතේ ගැන. (ඔව් ඔව් මට මතකයි... කවද හරි බැන්ද දවසක 'ඉකිරි වන්නම' ගැන ලියන්න පොරොන්දු වුනා. හැබැයි දැන්ම බෑ.. මොකද තාම කෑම උයන්නෙ අම්මගෙන් අහගෙන. ඒක අම්ම කියෙව්වොත් හෙට ඉඳන් කන්න වෙන්නෙ කඩෙන් )
වෙඩිං ප්ලෑනිං කොරයි මනුස්සය හිටියෙ නැත්තම්. මොකද මුලු කාල සීමාවෙම මගේ කාර්ය බාරය වුනේ, ඔපිස් වැඩ ඉවර වෙලා හතට අටට විතර මතු වෙලා මං ජීවතුන් අතර කියල මනුස්සයට මතක් කරල, ආයෙ ඔපිස් වැඩ වලට වාශ්ප වෙන එක. ආයෙ මං වැඩ ඉවර වෙද්දි මනුස්සය හීන දෙක තුනකුත් දැකල ඉවරයි.
ඒ වෙලේට ප්ලෑන් කරන්න ඕනෙ ඉතින් මහ සෝනගෙ මගුල!
ඒ ඇරුනම වෙඩිමෙ සමහර වැඩ කෙරෙන්නෙ නෑ වගේ නම් ඒව කරන්න ඉන්න මිනිස්සුන්ට බනින්න එහෙමත් මං දායක වුනා. ( අවුරුදු හතරක් රස්සාවක් කරල ඉගෙන ගත්ත වැදගත්ම දෙයක් තමයි ගානක් නැතුව බනින එකයි, කවුරු හරි බැන්නොත් ගානක් නැතුව ඉන්න එකයි.)
ඊට අමතරව වෙඩින් එකට සම්බන්ධ මොනා හරි නැති වෙලා වගේ නම් අඬන්න එහෙමත් මං මගෙ නොමසුරු දායකත්වය දුන්න. අම්මගෙ සෙරප්පුව උස නෑ කියල අඬනව, සරසන මිනිස්සු ෆෝන් ආන්සර් කරන්නෙ නෑ කියල අඬනව, bridesmate ගෙ ඇඳුම එක පැත්තකින් ඇද වෙලා.... එක පැත්තක් දිගයි කියලත් අඬනව, අනිත් පැත්ත කොටයි කියලත් ආයෙ අඬනව. මං අඬනව දැක්කම අම්මත් අඬනව. අපි ඔක්කොම අඬද්දි මහන අක්කත් අඬනව. අපේ මනුස්සය කොන්පියුස් උංග බුංග වෙලා ඉන්නව 'මේ ආදරයයි' ලයිව් බැලුව වගේ.
අඬන්න බැරි නම් බඳින්න එපා ඔව්!
ඔන්න ඔහොම ගිහින් වෙඩින් එකට කලින් දවසෙ රෑ උදා උනා. පොතේ හැටියට අන්දන කට්ටිය එන්න ඕනෙ රෑ11:45ට. මේ ලංකාව නෙ. කව්ද වෙලාවට වැඩ කරන්නෙ. මේ මිනිස්සු 12:30ට වගේ එයි කියල හිතාගෙන 11;30ට නිදා ගන්න ගියා. ඔය කොලේ! ආව නේද 11:45ටම! හොඳ වැඩේ! නිදා ගන්න හම්බුනේ විනාඩි 15යි. අනිත් අයට අන්දන කල් මට නිදා ගන්නලු. මොකද ඒ මිනිස්සුන්ට වුනත් පේනව මගෙ ඇස් දෙකට ඉරටු ගහලවත් ඇරගෙන ඉන්න බෑ කියල. කරුමෙක මහත! ඒ නින්ද යන්නෙත් නෑ! කවුරු හරි වකුගඩ්ඩක්වත් ගලව ගත්තොත් නිදන් ඉද්දි! ඇලර්ට් එකේ ඉන්න එපැයි. මටයි මනුස්සයටයි පුදුම උණක් තිබ්බෙ පල්ලියට යනකල්ම අපි දෙන්නව නොදැක ඉන්න. අර 'First look" කියල මෙව්ව එකක් තියෙන්නෙ. අන්න ඒක! ඉතින් උදේ පාන්දර ඉඳන් හැංගි මුත්තං. මනමාලය පොටෝ ගන්න එද්දි මනමාලි හැංගෙනව. මනමාලි එද්දි මනමාලය හැංගෙනව.
ඔහොම නටල නටල බැන්දයි කියමුකො.
පසු ජීවිතේ තමා මරු ම!
ඔන්න දවසක් මහ පාන්දර මේ මනුස්සය මාව ඇහැරවනව හෝ ගාල. මාත් නැගිට්ට දඩ බඩ ගාල. හදිස්සියක්ද දන්නෙ නෑනෙ. මං හුස්ම ගන්නව දැක්කෙ නෑලු. ඒකලු බැලුවෙ.
මං අහන්නෙ මොන මනුස්සයද පාන්දර නැගිටගෙන අනිත් මිනිස්සු හුස්ම ගන්නවද බලන්නෙ!
දැන් නිදා ගන්නව, හීන බලනවට අමතරව, මනුස්සයට පේන්න හුස්ම ගන්නත් ඕනෙ. නැත්තම් මහ සෝනගෙ ගහ උඩ වෙඩිම වෙලාවට මාව ඇහරවනවනෙ.
අද නිකමට වගේ හිතුන ඉඳල හිටල උදව්වක් එහෙමත් ගන්න ඕනෙ කියල. මොකද උයල ඉවරත් නෑ. ඔපිස් වැඩ පටන් ගන්න ඔන්න මෙන්න. අනේ අහින්සකය ඉදිරිපත් වුනා උදව් කරන්න.
'මට ලුණු එක අතට දෙන්න'
දැන් මිනිහා හෙන ගැහුවා සේ වට පිට බලයි.
'ලුණු අනේ ලුණු එක දෙන්න ඉක්මනට'
පැනපු ගමන් දුන්නෙ මොනාද දන්නවද? පාන් පිටියි ගම්මිරිසුයි.
පාන් පිටි සුදු පාට නිසා පැටලුනා කියමු! ගම්මිරිස්???
පෙනීම ගැන අහන්නත් හිතල කට වහ ගත්ත. මොකද ඉතින් පෙනීම හොඳ නම් මාව බඳී ඈ!
-අශන්ෂණී-
Comments
Post a Comment