කෙසෙල් කොලේ වික්‍රමය
අවුරුද්දක් සද්ද නැතුව හිටියට සමා වෙන්න ඕනෙ. කසාද බැන්දට පස්සෙ මනුස්සය blog ලියන්න දෙන්නෙ නෑ නේද කියල අහන අයට උත්තර දි දී ඉන්න ගමන් කල්පනා වුනේ, ඒ message තොගේට reply කරනවට වඩා ලේසි blog එකක් ලියන එක කියල. ඔයාල හිතුව හරි... මනුස්සය blog ලියනවට කැමති නෑ තමයි. මේ දැනුත් ලියන්න එපාමයි කියල මගෙ අත උඩ වාඩි වෙලා ඉන්නෙ.. මගෙ කැපවීම වැඩි නිසා දකුනු කකුලෙ මහපට ඇඟිල්ලෙන් තමයි මේක ටයිප් කරන්නෙ... ඒ නිසාවත් මේක කියවපියව්! මෝඩ කතා කිව්ව ඇති.. කතාවට යමු...
අද කියන්න යන්නෙ අශන්ෂණීගෙ කෙසෙල් කොලේ වික්‍රමය ගැන. දැන් ඉතින් එදා කන්න ආපු උන්ට හීන් දාඩිය දාල හිතනව ඇති ආයෙනම් මුන්ගෙ ගෙදරින් වතුර උගුරක්වත් බොන් නෑ කියල. ඔව්!හොඳ වැඩේ..
මිනිස්සු ගල් යුගයෙ සත්තු පස්සෙ ගිහින් මරාගෙන බිම දාගෙන කාපු කාලෙකුත් තිබ්බනෙ.. ඊට පස්සෙ ඒ මිනිස්සුම පිඟන් කියල ජාතියක් හොයා ගත්ත. පුටුවක සැපට වාඩි වෙලා ටීවී එකක් බලන ගමන් ජොලියෙ කෑම කන්න පුලුවන් ලෙවල් එකට ලෝකෙ ඇවිල්ල තියෙන්නෙ.. එහෙමයි කියල අපිත් එහෙම කන්න ඕනෙද මල විකාර! තියෙන පුටු ටිකත් අයින් කරල, කෙහෙල් කොල බිම දාගෙන, බිම බඩගාගෙන, හතරට නැවිල දිව පාගගෙන කනකොට තමයි මරු කියල අපි හිතුව. කෙහෙල් කොලේ කෑම කන්න නම් ඉතින් කෙහෙල් කොලයක් එපැයි. දාසය වෙනි තට්ටුවෙ ඉන්න අපිට කෙහෙල් කොලයක් තියා කෙහෙල් ගෙඩියක්වත් නෑ හදිස්සියකට හොයා ගන්න. ඉන්දීවරීගෙ මනුස්සය මද්දුම බණ්ඩාර වගේ ඉදිරිපත් වුනා උදේ පාන්දර එයාලගෙ අල්ලපු වත්තට පැනල, අල්ලපු ගෙදර සීයගෙ සදාදරණීය කෙහෙල් ගහ; කාන්තිගෙ අතු දෙක තුනක් කපන් එන්න (සීය blog එක කියවනවනම් ඔන්න උදේ පාන්දර කාන්තිව ඉස්සුවෙ ලශේන් තමයි. මං කිව්ව කියන්න එපා). හරි දැන් කෙහෙල් කොල හොයා ගත්ත කියමුකො. ඒක ගේන්නෙ කොහොමද! කට්ටිය කතා කර ගත්ත කෙහෙල් කොලේ මැද නාරටිය කපල, කෑලි වලට වෙන් කර ගත්තනම් ගේන්න අමාරු වෙන එකක් නෑ කියල. කෑලි කපන්න කියල මොන තරම් වැරැද්දක්ද කියල දැන ගත්තෙ කෙහෙල් කොලේ අරගෙන බිම එලන්න බලද්දි. කොටු කපල තිබ්බ ආයෙ සුපිරියට! තිස්ස නාගොඩවිතාන මහත්තයට අහු වුනා නම් චිත්‍රපටි වල කොටු කොටු දාන්න අරන් යනව මුගෙ කෙහෙල් කොලේ! එච්චර සයිස් කොටු! කෑම උයනවට වඩා වෙලාවක් ගියා මයෙ හිතේ කොටු ටික අමුනල කෙහෙල් කොලයක් හදා ගන්න.
උයන අතරතුර ගියා අමතක වෙච්ච අඩුමකුඩුම ගේන්න කඩේ රංචුව පිටින්ම.. අපේ මනුස්සයට කොහෙදෝ යන බැංකුවකින් credit card එකක් හම්බෙලා අපිට විසුමක් නෑ... ගෝටාබයට ජනාධිපතිකම හම්බෙච්ච මුල් කාලෙ වගේ හෙන ගැම්මෙන් අර කාඩ් එක යන යන තැන උස්ස උස්ස අපිට පෙන්නනන්ව. යන්තම් අඩුමකුඩුම ටිකයි, මනුස්සයගෙ රාජකීය ණයපතයි, ලැජ්ජාවයි, ඇඳිවතයි බේරගෙන ගෙදර ආව.
දුමියට කවදත් තිබුනෙ වෙනම අරමුණක්.. අපි මොනවද කන්නෙ ඌට අදාල නෑ. ඌට තියෙන එකම අරමුණ තමයි mojito ටිකක් හදල බෙල්ල මිරිකල හරි අපිට පොවා ගන්න එක. ඉතින් ඌ එදත් අවස්තාව අතෑරියෙ නෑ.
ඉතින් අපි දහ අට පාලියම නටල කෑම ටික හදා ගත්ත කියමුකො! කෝ දැන් කෑම කන්න එනව කියපු අනිත් උන්?
යන්තම් කෑම නිවෙන්න කලින් ආව අපේ මනුස්සයගෙ යාලුවො දෙන්න. අබරං සීයගෙ කාන්ති කතා කලත්, උන් දෙන්න නම් කතා කරන් නෑ. මං හිතන්නෙ අපේ මනුස්සය බය කරල ගෙන්නන්න ඇත්තෙ.
ඒත් තව කට්ටිය අඩුයි.. ඔන්න එනව තව එකෙක්! ජා ඇල ඉඳන් බොරැල්ලට කකුල් දෙක අස්සෙ ගිටාර් එකක් ගහගෙන ආපු එකෙක් දැකල තියෙනවද? අපි දැක්කෙත් එදාමයි.. දුමියගෙ mojito එකට මිංචි කොල මදි වුන නිසා මිංචි supply එක අපේ ජා ඇල කොලුව ෂෙරංගට බාර දීල තිබුනෙ. ඒ කෙහෙල් කොලේ කතාවෙ අනිත් අන්තෙ! උගෙ මින්චි මිටියෙන් මැල්ලුම් හදල බොරැල්ලෙම ගෙයක් ගෙයක් ගානෙ බෙදුවත්, තවත් ඉතුරුයි. හැබැයි වූ තව ටිකක් පරක්කු වුනා නම් මිංචි කන්න වෙන්නෙ dessert එකට තමයි.ඌ ආවෙ ජා ඇල ඉඳන් නිසා පරක්කු වුනාට කමක් නෑ කියමුකො.. අන්තිමටම ආවෙ අපේම උඩ තට්ටුවෙ හිටපු එකා...
කොහොමින් කොහොම හරි නටල කෑම ටිකත් අටවගෙන, එනව කියපු උන් ටිකත් එකතු කර ගෙන, බඩගාගෙන දන ගහගෙන කාල, පොටෝ එකකුත් ගහ ගත්ත.කවද හරි ඊළඟ පරම්පරාවට කියන්න එපැයි, 'උඹලට සැප වැඩි, අපේ කාලෙ අපි කෑවෙ බඩ ගාගෙන' කියල..
ඊළඟ පරම්පරාවට නම් නොකිව්වත් කමක් නෑ... හැබැයි තමන් වෙනුවෙන්, තමන්ගෙ අයගෙ සතුට වෙනුවෙන් පොඩි වෙලාවක් ජීවිතේ ඉතුරු කර ගන්න. කවද හරි මතක් කරල හිනා වෙන්න මතක ටිකක් ඉතුරු කර ගන්න. එහෙම නැත්තම් මං වගේ මතක් වුනාමත් හිනා යන යාලුවො ටිකක් හොයා ගන්න.
කොච්චර වැඩ තිබුනත් අමතක කරන්න එපා ජීවත් වෙන්න!
- අශන්ෂණී -
Comments
Post a Comment